April 10, 2014

සිංහල අවුරුද්ද බොහෝම කිට්ටුවට ඇවිත්. එරබදු මල් පිපිලා. කොවුලන්ගේ ගීත නාද, කජු පුහුලම්, අඹ පොකුරු ස්වභාව ධර්මයේ අවුරුදු සුදානම පෙන්වන සංකේත. ඒ වුණාට අපේ කාලයේ ලාංකිකයන්ට අවුරුදු එනවා කියල දැනෙන්නේ වෙළඳ ව්‍යාපාරිකයින්ගේ වුවමනාවට. කඩපිල්වල වැටෙන සේල් බෝඩ් වලින් පාර අහගෙන ලස්සන ඇඳුම් ආයිත්තම්, වුවමනා හෝ නූවුමනා නවීනතම උපාංග, තරඟයට වගේ ගෙවල් වල ගොඩ ගහගන්න එක තමයි අද දවසේ ලාංකික සිංහලයාගේ “කිරියෙන් පැණියෙන් ඉතිරෙන“ අවුරුද්ද බවට පත්වෙලා තියෙන්නේ. අවුරුද්දේ අරමුණ කුමක්ද, අවුරුද්ද කියන්නේ මොකද්ද කියල පැහැදිලි කරලා දෙන රූපවාහිනී වැඩසටහන් ගණනාවක් තියෙද්දි අවුරුද්ද කියල කියන්නේ මොකද්ද කියන එක ගැන තවත් ලිපියක් ලියන්න වෙදහාමිනේ හිතන්නේ නෑ. වෙදහාමිනේ මේ සැරේ ලිපියෙන් කතා කරන්න යන්නේ “අවුරුදු කැවිලි පෙවිලි“ ගැන.
අවුරුදු කැවිලි විදියට ගත්තහම කැවිලි වර්ග දෙජාතියක් තියෙනවා. එකක් තමයි කිරිබත් සමඟ ආහාරයට ගන්නා තෙලින් බැදගන්නා පැණිරස කැවිලි වර්ග. අනෙක් කැවිලි වර්ග වෙන්නේ බත් සමඟ ආහාරයට ගන්නා මිරිස් රසැති ආහාර වර්ග. පැණි රස කැවිලි වර්ග විදියට ගත්තහම මුංකැවුම්, කොණ්ඩ කැවුම්, අතිරස, අග්ගලා, නාරං කැවුම්, කොකිස් , ආස්මි, දොදොල් වගේ දේවල් තමා මුලටම එන්නේ. බත් සමඟ ගන්නා ආහාර වර්ග හැටියට ගැනෙන්නේ සිංහල අච්චාරුව, හත් මාළුව, කජු මාළුව ආදිය ගන්න පුළුවන්. මේ කැවිලි වර්ග වලින් කීයක් පසුගිය අවුරුද්දේ ඔබේ අවුරුදු කෑම මේසයේ තිබුණද? ඔබේ කෑම මේසයේ කෙසේ වෙතත් බොහො සිංහල අවුරුදු කෑම මේස වල ඉහත නම් කළ කෑම වර්ග වෙනුවට තියෙන්නේ කේක්, බිස්කට්, බිබික්කන්, මස්කට් වගේ අන්‍ය සංස්කෘතියකට අදාළ කෑම වර්ග. වසර දෙදහස් ගණනක අතීත ශ්‍රී විභූතිය, සාඩම්බර හෙළ ඉතිහාසය ගැන කතා කරන අපේ මහා සංස්කෘතික මංගල්‍ය යේ අපේ කෑම මේසය අරක් ගන්නේ විදෙස් සංස්කෘතියක කෑම නම් අපේ බඩ ගෙඩි වලට කළින් මොළ ගෙඩි වල තියෙන දේවල් බලාගන්න සිද්ධ වෙනවා. හැබැයි මේ දේවල් මෙහෙම වෙන්නත් හේතු ගොඩක් බලපානවා. අද අපේ කාන්තාවො බොහොමයක් රැකියා වලට යනවා. මේ රැකියා වලින් නිවාඩු ලැබෙන්නේ අවුරුදු නැකතට ඔන්න මෙන්න කියලා. ඉතින් ඒවගේ වෙලාවක කැවුමක් උයන්න, කොකිසක් බදින්න වෙලාවක් හදාගන්න අමාරුයි. එහෙමත් නැත්නම් නිසි පදමට පිටි ටික අනාගන්න එක ගැන , මිශ්‍රණය හරියට සකසා ගන්න එක ගැන හිතේ තියෙන දෙගිඩියාව නිසා වෙලාව තිබුණත් කම්මැලි කර කර ඉල අවසාන මොහොතේ කඩෙන් රස වෑහෙන කෑම ටිකක් ගෙනත් අවුරුදු මේසේ පුරවනවා. මොකද අද දවසෙ වෙදහාමිනේගේ සමවයසේ ඉන්න බොහෝ දෙනා පවා තනියම කැවුමක් ඒදගෙන නිසි පදමට බැද ගන්න දන්නේ නෑ. ඒ වගේම ඒ අය බහුතරයකට “ මම මේ දෙය අනිවාර්යයෙන් ඉගෙන ගත යුතුයි.- මගේ දුවට මේ දැනුම දීම මාගේ වගකීමක්“ කියන හැඟීම නැහැ. (ඒ මතවාදය අපේ ජන සමාජයට රිංගවීම ගැන වෙදහාමිනේ දකින සත්‍යය තිත්ත වුවත් අපි එය එළිපිට කතා කර අවබෝධ කරගත යුතයි. ඒත් ඒ මේ ලිපිය තුළ නොවෙයි.) මේ නිසා බොහෝ දෙනා තමන්ගේ බැරිකම හෝ වුවමනා නැතිකම මත අවුරුදු කැවිලි නොසෑදීම ට නිදහසට කරුණු කාරණා ගොනු කරන්නේ ශරීර සෞඛ්‍ය ගැන කෙස් පැලෙන තර්ක හෝ වෛද්‍ය උපදෙස් ගෙන හැර දක්වමින්. “අපෝ ඕවා කන්න හොඳ නෑ. මට කොලස්ටරෝල් නෙ. අනෙක සීනිත් එච්චර හොඳ දෙයක් නෙවෙයිනෙ. දියවැඩියාවටත් එන්න පුළුවන්.“ මේක අද දවසෙ “අවුරුද්දට කැවිලි හැදුවද?“ කියල හිතවතුන් කිහිප දෙනෙක් ගෙන් ඇහුවහම කැවිලි නොහැදූ අයගෙන් ලැබෙන සුලභ පිළිතුරක්. ඇත්ත තමා. ඇඟ ඇතුලෙ තෙල් (මේද), සීනි, වතුර, ලවණවර්ග, තව තව ජරාව පුරවගෙන, හිතේ කහටත් තියාගෙන පිට පොත්ත විතරක් ආලේපන ගාලා, සුවඳ කවලා රැකබලාගන්න අපේ බොහෝ දෙනාට කෑම බීම වලින් ඒ දේවල් ආයෙම ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. එහෙම වුනත් දොස්තර මහත්මයා නියම කරන පෙතිටික, කරල් ටික වරද්දන්නෙ නැතිව බොන ගමන්.... මැරුණත් මොකෝ කාලනෙ .... කියල හිතල සුදු පාන් පෙත්තක්, සීනි දාපු තේ එකක්, බිස්කට් එකක්, කේක් කෑල්ලක් කන්න, අවුරුදු කෑම ගැන අනියත බයක් දක්වන බොහෝ දෙනා එඩිතරයි. එහෙම හිතන බොහෝ දෙනා වෙනුවෙන් වෙදහාමිනේ ආදරයෙන් මතක් කරන්නේ හරි විදියට අවුරුද්දට හදන මුං කැවුමක්, අතිරසයක්, කොකිසයක්,රස බැලුවට පාන් පෙත්තකින් වෙන හානියක්, කෙක් කෑල්ලකින් වෙන හානියක් ඇඟට වෙන්නේ නෑ කියලයි. ඒ වගේම හරියට අවුරුදු සිරිය අත් විඳින්න පුළුවන් නම් කැවුමකින් කොකිසයකින් ඇඟට උරන තෙල් සීනි විතරක් නෙවෙයි.... පහුගිය කාලෙ උරපු තෙල් හා සීනි නිසි ලෙස දවා හරින්නත් ඔබට පුළුවන්. ඒ කොහොමද කියල වෙද හාමිනේගේ ලිපිය දිගටම කියෙව්වොත් වැටහේවි. (කොහොම වුණත් කොලෙස්ටරෝල් තියෙන කට්ටිය මේ ලිපියත් කියවන්න.)
අපේ අවුරුදු මේසයේ ප්‍රධාන ආහාරය බවට නිරායාසයෙන්ම පත්වෙන්නේ.... කිරිබත්. ඇඟ සිසිල් කරන ශක්තිය උපරිමව ශරීරයට ලැබෙන ලොකු කුඩා කාට කාටත් අගුණයක් නැති කෑමක් තමා කිරිබත්.සුදු හාල් කිරිබත් වෙනුවට රතු කැකුළෙන් හදන කිරිබත් දියවැඩියාව, කොලෙස්ටරෝල් තියෙන කෙනෙකුට වඩා සුදුසුයි. මුං කැවුම් වල ඉඳල අග්ගලාව වෙනකම් හදාගන්න විදිය ගැන උගන්වන නෙක නෙක මාධ්‍ය උත්සාහයන් තියෙන නිසා ඒවා හදාගන්න වට්ටෝරු කියන සූප ශාස්ත්‍ර කාර්යය කරන්න වෙදහාමිනේ ඉදිරිපත් වෙන්නෙ නෑ.ඖනම නම් මෙතනින් බලන්න. ඒත් මොනම වට්ටෝරුවක වුණත් අන්තර්ගතයේ අනවශ්‍ය දෙයත් වේනම් ඒ වෙනුවට නිවැරදි යෙදවීම කරන්න මතක තියාගන්න. පාන් පිටි වෙනුවට කැවුම් ඇතුළු රසකැවිලි හදද්දි අනිවාර්යයෙන් හාල් පිටි ගන්න. ඔබ මේදවෘදිධි (කොලෙස්ටරෝල්) හෝ දියවැඩියා රෝග වලින් නොපෙලෙන්නේ නම් සුදු හාල් පිටි ගත්තත් කමක් නෑ. ඒවායෙන් පෙළෙන අයෙක් නම් රතු කැකුළු හාල් පිටිකර කැවිලි සඳහා භාවිතා කරන්න. මෙ හාල් පිටි කර ගැනීම ගෙදරදීම කරගන්න පුළුවන් නම් එහි ගුණාත්මක භාවය ගැන සහතිකයක් ලබාගන්න ඔබටම පුළුවන්. නැතිනම් විශ්වාස වන්ත ව්‍යාපාරිකයෙකු ගෙන් මිළදී ගන්න. හාල්පිටි කියන්නේ සිංහල අවුරුදු කැවිලි සඳහා යොදාගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යය. නාඩු සහල් වලට සාපේක්ෂව ඉක්මන් දිරවීමක් කැවිලි සඳහා යොදාගන්නා කැකුළු හාල් පිටි වල තිබ්බත් ඒක පාන්පිටි තරම් ඉක්මනින් ශරීරයට උරා ගන්නේ නෑ. මේ නිසා ශරීරයේ රුධිරගත සීනි මට්ටම ක්ෂණිකව ඉහළ නංවන්නේ නෑ. ඊළඟට කැවිලි සෑදීමට ගන්නා ප්‍රධාන දේ තමා සීනි. අද දවසේ දි මේ වෙනුවෙන් සුදු සීනි භාවිතා වුණත් අතීතයේදී අපේ පැරැන්නන් භාවිතා කළේ කිතුල් හෝ පොල් පැණි. ඉක්මනින් දිරවන සුදු සීනි වෙනුවට පැණි යොදාගෙන කැවිලි හදනවනම් සෞඛ්‍යට හිතකරයි. ඊළඟට මේ කැවිලි බැදීමට හොඳ පොල්තෙල් යොදාගැනීමත් කැවිලි වල ගුණාත්මක භාවය රැකගැනීමටත්, සෞඛ්‍යාරක්ෂිත බවටත් වැදගත්. කාලෙකට කලින් “පොල්තෙල්“ බිල්ලෙක් බවට පත්කරපු බටහිර වෛද්‍යවරු පවා අද දවසෙදි කියන්නේ “පොල්තෙල්“ මාරයෙකු නොව අනෙකුත් මේධවෘද්ධී කාරක තෙල් හා සැසඳීමේදී අහිංසක යෙදවුමක් බවයි. මේ පොල්තෙල් ගැන තියද්දි අද දවසේ තියෙන සුදු පොල්තෙල් මේනියාව ගැනත් කියන්න ඕන. සුදු පොල්තෙල් කියන්නේ සාමාන්‍ය කුරුටු සහිත පොල්තෙල් වලට සාපේක්ෂව හොඳ දෙයක් කියල වෙදහාමිනේ කියන්නේ නෑ. මේ නිසා කැවුම් බදිද්දී සාමාන්‍ය පොල්තෙල් පාවිච්චි කරන්න. අනෙකුත් බැදීම් සඳහාත් ඒ පොල්තෙල් තමා හොඳ.ආලේපන සඳහා සුදු පොල්තෙල් භාවිතා කලාට කමක් නෑ. ඒ වගේම තමයි වරක් බැදි පොල්තෙල් වලින් යළි යළිත් බැදීම් කරන්නහොඳ නෑ. මෙවැනි දේ අනුගමනය කරනවා නම් කැවිලි වලින් ගුණයක් මිසෙක අගුණයක් ශරීරයට වෙන්නේ නෑ. ඊළඟට බැදීමෙන් පසු මේ කැවිලි වල වැඩි තෙල් ඉවත්වන ආකාරයට (පතුලෙන්ම පැකලි පීරිසියක් මුනින් නවලා)මැටි මුට්ටි වල ගබඩා කිරීමෙනුත් සෞඛ්‍ය හිතකර වීම වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ දේවල් හරියට කරලා දවස් තුනකට විතර පෙර බැදපු කැවුමක්, කොකිසයක් කෑවට කිසිම හානියක් වෙන්නේ නෑ. ඒ වගේම මුං ඇට, යොදා ගන්නා කැවිලි වර්ගත් කිහිපයක් තියෙනවා. මේවා සඳහා මුංඇට පිටි යොදාගැනීමෙන් ශරීරය සිසිල් කරනවා. කහ කුඩු ශරීරයේ විෂ නසනවා. ආස්මි වලට ගන්න දවුල් කුරුඳු බඩවැලේ රෝග , දෝෂ සමහන් කරලා බඩවැල් සක්‍රීය කරනවා. ආහාර දිරවීම පහසු කරනවා. බඩගින්න වැඩි කරනවා. මේ සියළු දේට වඩා වැදගත් අනිවාර්ය සාමාජිකයෙක් කෑම මේසයට එක් කරගත යුතුමයි. කිරිබත් ඇටේ ඉඳල, මුං කැවුම වෙනකම් එක සීරුවට දිරවීමට උපකාරීවන මෙයා කැවිල්ලක් නම් නෙවෙයි.ස්වභාවික පරිසරයේ දායාදයක් , පළතුරක් වන මෙයා තමයි.... කෙසෙල්. හැබැයි ඉතින් ඒ අරමුණ සඵල වෙන්න අවුරුදු මේසයට ගෙන ආ යුත්තේ “ඇඹුල්“ වර්ගයේ කෙසෙල් ඇවරියක්. මොකද තමන්ගේ පවුලේ වත්කම හෝ ආඩම්බරය පෙන්වන්නට කොලිකුට්ටු හෝ රත්කෙහෙල් වගේ දේවල් මේසයට එක්කලාට සිද්දවෙන්නේ “ඇඹුල්“ වලින් සිද්ධ වෙන යහපත් ජීර්ණ ක්‍රියාවලිය නොවෙයි. මේ විදියට මූලික දේවල් යොදාගෙන එක එක පදමට අනාගෙන පොල්, කජු, ශාක යුෂ යොදාගෙන තනන සෑම කැවිල්ලක්ම පිෂ්ඨය, මේදය සහිත ආහාර. මේ නිසා ඉහත අසනීප තියෙන කෙනෙක් නම් මේවා ආහාරයට ගත යුත්තේ වරකට ගන්නා ප්‍රමාණයේ හා ආහාරයට ගන්නා කාල පරාසය ගැන අවධානයෙන්. අනෙක් අයට නම් එහෙම සීමාවක් නෑ. බඩ පිරෙනකම් වුණත් කාලා හොඳට ඇඟ මහන්සිවෙන ක්‍රීඩාවක යෙදිලා, ගෙදර දොරේ වැඩක යෙදිලා ඉන්න පුළුවන්නම් කිසිම සෞඛ්‍යමය අවධානමක් මතුවෙන්නේ නෑ. අතීතයේ සිට සිංහල අවුරුදු කාලෙට ඔන්චිලි, පොරපොල්, ජවන හා පිටිය සමූහ තරඟ පැවැත්වුණේ අවුරුදු කෑම දිරවන්න අවශ්‍ය සහයෝගය දෙන්න තමා. අනෙක නෑදෑ ගමන් යාම, නිවසට එන අමුත්තන් සඳහා අවශ්‍ය දේ සොයා යාමට වගේ දේවල් වලටත් ශක්තිය වැය වීම නිසා මේක එච්චර ඇඟට දැනෙන දෙයක් වුණේ නෑ. යාන වාහන, විද්‍යුත් මෙවලම් වැඩි අද දවසෙදි ඇඟ වෙහෙසීම අඩු වීම නිසා තමා අපේ ඇඟවල් වලට ලෙඩරෝග එන්නේ. මේ නිසා අවුරුදු කැවිලි විතරක් නෙවෙයි අනෙකුත් ඕනෑම කෑමක් ගැනීමේදි තමන්ගේ මහන්සියේ තරම ගැන හිතලා ඒ තරමට අවශ්‍ය විදියටයි ආහාරය ලෙස ගත යුත්තේ.
ඊළඟට මේ කැවිලි වල තෙල්, සීනි, පිටි පුච්චන ප්‍රධාන මෙහෙයක් කරන කෙනා තමයි, අච්චාරුව. සිංහල ක්‍රමයට දාන අච්චාරුවේ තියෙන රතුළූණු, දෙහි,අබ, විනාකිරි වලින් අදාළ කාර්යය නිසි පදමට කරනවා. තෙල් වැඩිපුර කෑවාම, කෑපිට කෑවාම හැදෙන ග්‍රැස්ටයිටීස් ගතිය නැති කරලා දාන්න හත්මාළුවෙන් කරන මෙහෙයත් ඉතා වැදගත්. ප්‍රෙද්ශයෙන් ප්‍රෙද්ශයට වට්ටෝරුව වෙනස් වුණත් හත්මාළුවේ තියෙන පොදු දේවල් වන වට්ටක්කා දළු, කොහිළ දළු,දඹල වගේ දේවල් බඩවැල් වලට දෙන සහය අවුරුදු සතිය තුළම ඔබට අවශය සහනය ලබාදෙන්න සමත්. මළබද්ධය වැලැක්වීම, බඩවැල් ශක්තිමත් කිරීම තමා මේවාගේ ප්‍රධාන ප්‍රයෝජන. ශරීරයේ ශක්තිය වර්ධනය කරගන්න එක එක විටමින් ජාති බොන, ශක්තිජනක ආහාර හොයන අයට හොඳම ශක්තිජනක ව්‍යාංජනයක් අවුරුදු කාලෙට ගෙවල් වල හැදෙනවා. ඒ තමයි කජු මාළුව.
හෙළ අයිතිය රකින්න, ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානම් අපි අපේ හෙළ අවුරුදු දා සැකසෙන අපේ පවුලේ කෑම මේසය බටහිර පන්නයේ ආහාර වලින් පුරවා නොගෙන, අවිහිංසාවාදී ආගම් දෙකක සාරයෙන් ඔපවත් වෙන අවුරුදු කෑම මේසය පරිසරයට ආදරය කරන පරිසරය බෙදාහදාගන්නා ශාකමය ආහාර වලින් පමණක් සූදානම් කරගෙන යහපත් ජීවන රටාවක් ඇතිකර ගන්නට අරමුණු කරගත් “ගෞරවණීය කෑම මේසයක්“ ලෙස සකසමු. හිරු දෙවියන්ගේ නෑකම අළුත් කෙරෙන එදා දවසෙදි අපේ දූ පුතුන්ට නෑදෑ හිත මිතුරන්ට අභිමානයෙන් රසවිඳින්න පුළුවන් කෑමට පෙර වගේම පසුවත් එකසේ මුවඟට සිනහව උරුම කරන කෑම මේසයක් සකසමු. අක්මුල් සිඳගත් ඕපපාතික පුද්ගල පංචස්කන්දයක් නොවී නෑදෑ හිතමිතුරන් සමඟ සුහදත්වයෙන් තම තම නිවෙස් වලම ගතකරන අවුරුදු දවසක් වෙනුවෙන් කැපවෙමු. කුසට දමන ආහාර වලටත් වඩා වැදගත් හිසට දමන තෙල් ටික ගැනත් හිතමු.ඒ වෙනුවෙන් හිසතෙල් ගෑමේ වැදගත් චාරිත්‍රයත් ඉටුකරමු. ( ඒ ගැන වෙදහාමිනේගේ අදහස මෙතැනින් බලන්න.) ඉදිරි දෙසතිය වෙදහාමිනේටත් ගෘහණියක් හැටියට කාර්ය බහුල සමයක් නිසා අප්‍රෙල් අවසන් සතියේ විතර අළුත් ලිපියකින් හමුවෙමු.ඔබට සුව සහනය ලැබෙන, නැවුම් විදියට හිතන්න වරම් ලැබෙන සුබ අළුත් අවුරුද්දක් වේවා! (ඡායාරූප සියල්ල අන්තර්ජාලයෙනි.) Email - nagarjunaherble@gmail.com

2 comments:

  1. ඔබටත් සුභ අළුත් අවුරැද්දක් වේවා මේ blog 1ත් හත්මාළුව/සිංහල බ්ලොග් කියවනය වගේ syndicator 1කට දාන්න

    ReplyDelete
  2. Prabath, මෙය ලාංකීය සිතුවිලි වල හා කොත්තු යන සින්ඩි වල ඇතුළත් වී තිබෙනවා. සිංහල බ්ලොග් කරුවන් කළකට ඉහතදී මේ අඩවිය ඇතුළත් කර තිබුණත් දැන් එය ඉවත්කර තිබෙනවා. ඉදිරිය්දී උත්සාහ කරනවා. ස්තූතියි!

    ReplyDelete

Powered by Blogger.

Advertisement

Advertisement

Advertisement

ජනප්‍රියම ලිපි

ඇවිත් ගිය ගණන

වටින් පිටින් පැමිණෙන හැටි

free counters

සහපිරිවර