මඟුලේ යන්නන් දැකලා - නාග විසට නස්න කළා

මඟුලේ යන්නන් දැකලා-කුඹුරේ මඩ කලල් කලා
වැස්සට පැලයට ඉඳලා - නාග විසට නස්න කලා
ඉහත කවිය ගැන ඔබට මොනවද හිතෙන්නේ. එහි අවසාන පදය නිසා නොවෙන්න ඒක ‍ඖෂධ වට්ටෝරුවක් කියල සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැහැ. ඉහත කවිය ආයුර්වේදයේ සිංහල වෙදකම කියන කොටසට අයත් "වෙදගැට" නමින් හදුන්වන සාහිත්‍යාංගයක්.අපේ සංස්කෘතියෙ අපිටම ආවේණික සාහිත්‍යාංගය තමයි - කවිය. ඒ නිසාම සිංහල වෙදකමේ බොහෝ මුඛපරම්පරාගත රහස් වට්ටෝරු පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආවෙ කවි වලින්. යම් කිසි කාලෙකදි එහි අනාගත අවදානම අවබෝධ කරගත්තු අපේ පැරැන්නන් මේවා ලිඛිතව සංරක්ෂණය කරන්න පුස්කොළ පොත් වල, සෙල්ලිපි වල සටහන් කරල තියෙනවා. එදා අතීතයේ අපේ ලෙඩට දුකට තිබුණු එකම පිළියම අපේ වෙදකම වූ නිසාම එදා ඒ ගැන කරපු අත්හදා බැලීම්, නව සොයාගැනීම් වගේම භාවිතා කිරීමත් අදට වඩා උනන්දුවෙන් සිද්ධ වෙලා තියෙනවා.අද අපිට වෙනත් විකල්පයක් හැටියට "ඇලොපති වෛද්‍ය ක්‍රමය" තියෙන නිසා ආයුර්වේදයේ නැතිනම් සිංහල වෙදකමේ වැදගත්කම අඩුවෙලා ගිහින් තියෙනවා. ඒ නිසා නව පර්යේෂණ සිදුකිරීම්, අත්හදා බැලීම් එහෙම සිද්ධ වෙනවා අඩුයි. ඒවා සිදු වුණත් බොහෝදුරට ඒ උපාධි නිබන්ධනයකට, පන්ති සාමාර්ථයකට,
උසස් වීමකට අදාළව කෙරෙන අතපත ගෑමේ පර්යේෂණ විතරයි. අවසානයේ ඒ පර්යේෂණ වාර්තාවත් නවතින්නේ "ඇලොපති" බෙහෙත් පෙති කොම්පැණියක දෙපා මුල ලොකු මුදල් කුට්ටියක් ළඟ.

සුද්දගේ ගාව තියෙන එකම හොඳ දේ හැටියට වෙදහාමිනේ දකින "සංවිධානාත්මක බව" අපේ සංස්කෘතිය තුළ අපිට පිහිටල තියෙන්නේ බොහොම අඩුවෙන්. ඒකට මූලිකම හේතුව අපි හැමෝම තමන් සතු ජාතික වගකීම හඳුනා නොගැනීම. මේ දේවල් අපේය. එය අනෙකා විසින් රකිනාතුරු නොසිට රැක ගත යුතුය-තමාගේ ඇවෑමෙන් මෙය ඉදිරි පරම්පරාවට භාරදිය යුතුය කියන "ජාතික මෙහෙවර" අපේ පාරම්පරික වෛද්‍යවරුන් හා වැඩිහිටියන් අතින් සිදු නොවීම ජාතියේ අවාසනාවක්. බොහොමයක් වැඩිහිටියෝ තමන්ගේ දෙවැනි පරම්පරාවට තමන් දන්නා දැනුමෙන් කොටසක් හංගාගෙන කොටසක් පමණක් ලබාදීම ඇත්තටම ඛේදවාචකයක්.
ඒක වෛද්‍ය දැනුමට විතරක් නෙවෙයි දරු නැලවිලි ගී වගේ සරල දේවලට පවා ඉහලින්ම අදාලයි. නිකමට හිතල බලන්න ඔබේ අත්තම්මා/ අම්මා ඔබව නලවපු නැලවිලි ගී වලින් කීයක් ඔබගේ දරුවාව නලවන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන් වුණාද කියලා. එක්කෝ ඔබ ඒ ටික වැඩිහිටියන්ගෙන් අහගත්තේ නෑ. නැත්නම් වැඩිහිටියෝ ඔබට කියල දුන්නේ නෑ. මේ පරම්පරා ගැටුමෙන් අහිමි වෙලා යන්නේ අපේ උරුමය බව නම් අමතක කරන්න එපා. අවසානයේදී වසර දෙදහස් පන්සීයක උරුමය ගැන අපේ අතීත පුරාජේරු කතා එහෙමම තියෙද්දි , ඇමරිකාවෙ මැදිහත් වීමෙන් සංරක්ෂණය කරපු සිද්ධස්ථාන ගඩොල් කඳු වෙද්දි, අපේ අධ්‍යාත්මය අන්තරස්දාන වෙලා තියේවි. ඇමරිකාව හරි යුනෙස්කෝව හරි ඇවිත් අපේ උරුමය වනපොත් කරගෙන යනකම් ඉන්නෙ නැතිව තම තමන්ගේ වගකීමක් හැටියට හිතල පැරණි පරම්පරාවේ සැඟවුණු දැනුම අදම ඔබේ අතට ගන්නත් ඒවා අවශ්‍ය විට නිවැරදිව භාවිතා කරන්නත් ගුරු මුෂ්ඨි තියාගන්නෙ නැතිව ඒවා ඊළඟ පරම්පරාවට දෙන්නත් අදම හිතට ගන්න.(හිතට අරන් විතරක් මදි. අදම ක්‍රියාත්මක වෙන්න.)

අද සමාජ ක්‍රමයේ හැටියට වෛද්‍යවරයෙක් දන්නෙ වෛද්‍ය කර්මයට අදාළ දේවල් විතරයි. නීතීඥයෙක් දන්නේඒ කේෂ්ත්‍රයට අදාළ දේවල් විතරයි. පෙදරේරුවෙක් දන්නේ තමන්ගේ වපසරියට අවශ්‍ය දේවල් විතරයි. ඒත් අපේ පැරැන්නන්ගේ කාලෙ එහෙම නෙවෙයි. හැමෝම ආගමික, ‍වෛද්‍ය, යන්ත්‍ර මන්ත්‍ර, කෘෂි කර්ම, ශිල්ප දැනුමෙන් පරිපූර්ණ වෙලා හිටියා. ටිකක් හිතල බලන්න ඔබේ පියා වෙදෙක් නොවුණත් වෙදකමේ යම් යම් දේවල් දැනගෙන හිටියා. වඩුවෙක් නොවුණත් වහලෙ කුරුපා ගැන, ගෙයි උළුවස්සෙ නීති ගැන දැනගෙන හිටිය. හදීසියකට ලෑලි කෑලි ටිකක් පුරුද්දල මේස කෑල්ලක් ගහ ගන්න හැකියාවක් ඔහුට තිබ්බ. අද මොකද වෙලා තියෙන්නේ? ඔබ වඩුවෙක් නෙවෙයි නම් ඔබට ඒ දේ පුළුවන්ද? ගෙයක් හදන්න ගෘහ නිර්මාණ ශිල්පියෙකුට භාරදීල පැත්තකට වෙලා ඉන්න ඔබ ඒ ගැන පාරම්පරික හෝ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට ටිකක් වත් උනන්දු වෙනවාද? නෑ. හෙට දවසේ ඔබේ දරුවාට ලෑල්ලකට ඇණයක් ගහන හැටි කියල දෙන්නත් පාසලට විෂය නිර්දේශ ගේනකම් ඉන්න වෙයිකියල හිතෙන්නේ නැද්ද?විහිළුවක් නෙවෙයි එදා අපි තනියෙම හදාගත්ත සරුංගලේ හදාගන්න අද දවසේ ඔබේ පුතාට පුළුවන්ද? ඒකත් අද විෂය නිර්දේශයේ කොටසක්. ඒ වුණත් පාසලේදී සේරුව හරියට සමබර කරල , සව් කොළ අලවල, රැලි ටික දාල සරුංගලය හදන්න කාල පරිච්ඡේදයේ ඉඩ මදි වුනොත් ඉතිරි ටික කියල දෙන්න ඔබට පුළුවන්ද? ඒ ටික බැරි නිසා තමයි, චීනගෙ මකර සරුංගලේ ගම් දනව් පුරා කඩපිලවල් වල හරි හරියට විකිණෙන්නෙ.

අපි ආපහු පාරම්පරික වෙද දැනුම ගැන කතා කරමු. රොබට් නොක්ස් කියන විදෙස් සිරකරුවා තමන්ගේ ග්‍රන්ථයක (පරිවර්තන කෘතිය - එදා හෙළදිව,ඩේවිඩ් කරුණාතිලක ,ගුණසේන ප්‍රකාශණ) සදහන් කරල තියෙන විදියට අපේ රටේ හැම ගැමියෙක්ම වෙදෙක් බවත්, බතක් ඉදෙන ප්‍රමාදයෙන් කැඩුණු අස්ථියක් පෑහීමට හැකි ඖෂධ ඔවුන් දැන සිටි බවත් සඳහන් කරල තියෙනවා. අපේ අත්තම්මලා සීයලා අනිවාර්යයෙනුත්- 77 ආර්ථික පෙරළියේ අවිචාරවත් ගොදුරු බවට පත් නොවුනනම් අම්මල, තාත්තලත් අනිවාර්ය වෙද්දු. මොකද එයාල හැමෝම මොනවාහරි අසනීපයකට ගොඩ වෙදකමක්, කෙමක්, අත් බෙහෙතක්, පත්තුවක් මැල්ලුමක්, තෙල් සාත්තුවක් අනිවාර්යයෙන් දැනගෙන හිටිය කියන එක බොරුවක් නොවෙයි. ඒ විතරක් නෙවයි එයාල ඒවා ප්‍රායෝගිකව භාවිතා කරල තියෙනවා. අද වගේ ප්‍රවාහනය , සන්නිවේදනය තාක්ෂණය අතින් නොදියුණු ඒ කාලෙ සර්ප දෂ්ඨනයක්, කැඩුමක් බිඳුමක් වුණු ගමන් රෝහලකට යන්න පහසුකම් නොතිබුණු එදා දවසෙ වෙදමහත්තයෙක් නොහිටිය වෙලාවක නස්න කරල විස බස්සපු, උණ පතුරු තියල බෙහෙත් බැඳපු වැඩිහිටියො ගැන අපි අනන්තවත් අහල තියෙනවා. අදටත් මේ දේවල් නාගරීකරනය නොවුනු ගම්මැදි වල, කඳුකර ප්‍රදේශවල, ඈත වෙල්ලස්සෙ ඒ විදියටම වෙනව වෙන්න පුළුවන්.අපේ අම්මල අත්තම්මල දරුවන් අතර වයස් පරතරය පාලනය කරන්න අවශ්‍ය උපත් පාලන ඖෂධ වගේම අනවශ්‍ය දරු උපත් ගබ්සා කරවන්න භාවිතා කරන ඖෂධ පවා දැනගෙන හිටිය. ඒත් එයාල ඒව තමන්ගෙ දූවරුන්ට කියල නොදෙන්න පරෙස්සම් වෙන එක නම් වැරදි වැඩක්. මොකද ඒ ස්වභාවික ක්‍රමවේදයන් ශරීරයට අහිතකර නොවුනා වගේම ඒවා භාවිතයෙන් සුළු අතපසුවීමකින් පසු අපේක්ෂා භංගත්වයට පත්ව මරණයකින් කෙලවර වෙන ජීවිත දෙකකින් එකක් ගලවගන්න අවස්ථාව අනිවාර්යයෙන්ම ලැබෙනවා.ඒ පාරම්පරික දැනුම හෝ ප්‍රායෝගික දැනුම වෙද පොතක, නිඝන්ඩුවක, දෙපාර්තමේන්තු ලේඛණයක හෝ වෙනත් කිසියම්ම හෝ තැනක සටහන් වෙලා නැති දෙයක් නම් හෙට දවසෙ අපේ වගකීම් සහගත වැඩිහිටියො මිය පරලොව ගියහම ඒ දැනුමට අත්වෙන ඉරණම මොකද්ද? ඒවත් මැරිල යන්න අරිනවාද?නැත්නම් සංවිධානාත්මක සංරක්ෂණ ක්‍රමවේදයක් හදනවද?

ඔබ කියාවි සංවිධානාත්මක සංරක්ෂණ ක්‍රමවේදයක් හදමු කියල. එතකොට මම ඔබෙන් අහනවා දැනට එහෙම එකක් නැද්ද කියල. ඇත්තටම දැනටමත් එහෙම එකක් තියෙනවා. දැනට ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින සංරක්ෂණ හා පර්යේෂණ අංශවල මේ සම්බන්ධ දේවල් කෙරෙනවා. රටේ කොහේ හරි තැනක යම් කෙනෙක් ළඟ තියෙන පොත්, තල්පත්, ලේඛණ ආදිය දෙපාර්තමේන්තුව භාරයට අරන් ඒවා භාරදුන් අයගේ නම ලේඛණගත කරල පුස්තකාලයට යවනවා. ඉන් පස්සෙ කාලයක් එකතු වන ලේඛණ ආදියේ තොරතුරු ඇතුළත් කරල 'දේශීය චිකිත්සා සංග්‍රහය' ග්‍රන්ථයක් සම්පාදනය කරල මුද්‍රණය කරල අවශ්‍ය අයට මිළදී ගන්න ඉඩ ලබාදෙනවා. දැනට මෙහි කාණ්ඩ ගණනාවක් මුද්‍රණය වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ මේක මිළදී ගැනීමට පවතින දුෂ්කරතා තමයි. හාවා හඳ දකින්නා වගේ කාලයකට සැරයක් මුද්‍රණය කිරීම තමයි මෙහි සම්ප්‍රදාය. පැරණි කාණ්ඩ මිළදීගැනීමත් හරිම අමාරුයි. ඒවගේම තමයි ලැබෙන සියළුම ලේඛන 'දේශීය චිකිත්සා සංග්‍රහය'ට ඇතුළත් වීමේ ගැටළුත් , දෙපාර්තමේන්තුව තුළ සිටින සමහර වගකීම් රහිත පිරිස් මුල් ලේඛණ අස්ථාන ගත කිරීමේ කූට ක්‍රියාමාර්ගවල යෙදීමත්
ආදී ප්‍රශ්ණ මේ සංරක්ෂණ ක්‍රියාවලිය වටා ගොනුවෙලා තියෙනවා.

හැබැයි මෙම ක්‍රියාවලියේ තියෙන ප්‍රධාන ගැටළුව තමයි මහජනයා මේ අය වෙත ලේඛණ ඉදිරිපත් කිරීමට තියෙන උනන්දුවේ අඩුකම. ඊට හේතු කිහිපයක් බලපානවා. පළවෙනි එක තමයි දෙපාර්තමේන්තුව මේ දේවල් පිටපත් කරගෙන ආපහු දෙනවා වෙනුවට ඔවුන් වෙත රඳවාගැනීම සිදු කරන නිසා තමන්හෝ තමන්ගේ පරම්පරාවේ රහස් දේවල් රජයට පවරාදීමට තිබෙන අකමැත්ත. මොකද මේ දේවල් තමන්ගේ පරම්පරාගත උරුමයන් , තමන්ගේ සමීපතමයින් භාවිතා කරපු දේවල් නිසා ජනතාවගේ ඊට තිබෙන බැඳිම මත එහෙම පවරන්න හිත හදාගන්න බැරිකම. දෙවැන්න තමන්ට උරුම වුණු වෙදකම හෝ පොත්පත් තමන්ගේ ඉදිරි පරම්පරාවේ පිරිසට උවමනා වෙයි කියන ආකල්පය. තෙවැන්න වැඩි පරෙස්සමට දෙපාර්තමේන්තුවට දීල දැනට තියෙන සුරක්ෂිත භාවයත් නැතිව යයිද කියන බය නිසා.
(මොකද මේ රටේ දෙපාර්තමේන්තු ගැන ජනතාවගේ තියෙන්නේ එතරම් හොද ආකල්පයක් නොවීම වගේම ආ.දෙ. තමන්ගේ වත්තෙ තිබිච්ච සදුන් ගස් ටික හොරෙන් කපාගෙන යනකම් නිදියගෙන හිටපු දෙපාර්තමේන්තුවක් වීම)සිව්වැන්න දෙපාර්තමේන්තුව සතුව පවතින සංරක්ෂණ ක්‍රමවේදය පිළිබදව පවතින ප්‍රසිද්ධියේ මද කම. පස්වැන්න තමයි මේවා භාරදීමට එන කෙනෙකුට විඳින්න වෙන ප්‍රායෝගික දුෂ්කරතා.තමන්ගේ දේරජයට භාරදෙන්න ගියාමත් මේ මේසෙන් අර මේසෙට, එතැනින් උඩ තට්ටුවට මාරු වෙවී යන සාම්ප්‍රදායික දෙපාර්තමේන්තු ක්‍රමවේදය කාට නම් ඉවසිය හැකිද? යන්නත් ප්‍රශ්ණයක්. මෙන්න මේ හේතු දෙපාර්තමේන්තු සංරක්ෂණ සැලැස්ම සාර්ථක නොවීමට බලපෑවත් ඔවුන් සතුව මෙසේ සංරක්ෂණය කරගත් දැනුම නම් මහමෙරක් වගේ ආයුර්වේදයට වටින බව කිව යුතුයි. නමුත් භාවිතාවට නොගන්නා සංරක්ෂණයකින් ඵලක් තියේද කියලත් හිතල බලන්න ඕන.‍මේ ගැන දෙපාර්තමේන්තුවෙන් මීට වඩා උනන්දුවක් මතුවිය යුතුයැයි වෙදහාමිනේගේ අදහසයි. ඒවගේම මෙතෙක් ලේඛණ ගත නොවී වහරේ පවතින දේවල් සංරක්ෂණය කිරීම ගැන වැඩපිළිවෙලක් සැකසීමත් දෙපාර්තමේන්තුවේ වගකීමක්.

අඳුරට සාප කර කර අඳුරෙම ඉන්නවට වඩා එක පහනක් හරි දල්වන්න පුළුවන් නම් ඒක වටිනවා. මේ ව්‍යසනය ගැන හිත විස්සෝපෙන් කේෂ්ත්‍රයේ තරුණ වෛද්‍යවරු පිරිසක් සමඟ කතා කර කර හිටපු වෙලාවක වෙදහාමිනේගේ ඔළුවට ආව වැඩපිලිවෙලකට කාගෙත් එකඟතාවය ලැබුණා. ඒ තමයි නවීන තාක්ෂණය භාවිතා කරමින් මේ දේවල් සංරක්ෂණයට අපි යොමුවිය යුතුයි කියන කාරණය. මේ වැඩේට වෙදහාමිනේම බහින්න තමයි අදහස. හැබැයි මේ වැඩේට වෙදහාමිනේගේ අඩවියේ පාඨක ඔබගේ සහයෝගයත් ඉතා වටිනවා. ගුවන්විදුලියේ ශ්‍රවණ පර්යේෂණ අංශයේ සී ද ඇස් කුලතිලක මහත්මයල පටිගත කිරීමේ යන්ත්‍රයක් පිටේ එල්ලගෙන රට වටේ ජනකවි, ජනශ්‍රැති එකතු කලා වගේම වෙදහාමිනෙත් ලැප්ටොප් එකකුත් ස්කෑනරේකුත් අරගෙන රටවටේ යන්නයි ලෑස්තිය. අපි හිතමු කාගෙ හරි ගෙදරක පරණ වෛද්‍ය තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් තියෙනවා කියල. වෙදහාමිනේ එතැනට ගිහින් අයිති කෙනා ඉදිරිපිටදිම ඒ ටික ස්කෑන් කරගන්නවා. ඒවා ඡායාරූප විදියට ගබඩා කරගෙන අයිති කෙනාට සංයුක්ත තැටියකට කොපි කරල පිටපතක් භාර දෙනවා. ඒකෙම පිටපතක් පසුව පළමු අයිතිකරුගේ විස්තරත් සමඟ ආයුර්වේද දෙපාර්තමේන්තුවට සහ ජාතික පුස්තකාලයට භාරදෙනවා. වෙදහාමිනේ ළඟත් පිටපතක් තියෙනවා. රටේ ඉන්න ඕනෑම ආයුර්වේද වෛද්‍යවරයෙකුට, පර්යේෂකයෙකුට, ශිෂ්‍යයෙකුට අවශ්‍ය විටකදී පරිශිලනය සඳහා මේ දේවල් ලබා දෙනවා. ලේඛණ ගත නොවුණු දේත් ඒවිදියමයි. ඒවා මෛක්‍ර‍ෆෝනය හරහා පටිගත කරගෙන කලින් විදියටම ක්‍රියාකරනවා. එතකොට මේ දේවල් සංරක්ෂණයත්, භාවිතයත්, පර්යේෂණයත් යන අංග තුන සඳහාම යොදවා ගත හැකි නිසා ඵලදායිතාවයෙන් යුක්තයි.
හැබැයි කිසිම විදියකින් මේ දේවල් අලෙවි කිරීමේ පරමාර්ථයක් වෙදහාමිනේට නෑ. කවදහරි දවසක කිසියම් වගකිවයුතු ආයතනයක් මෙහි භාරකාරීත්වය ගන්නවනම් ඒකත් පවරන්න වෙදහාමිනේ ලෑස්තියි.

ඒවගේම තමයි මේ වැඩේ එච්චර ලේසි පහසු වැඩක් නොවෙයි. කාලය,මුදල්,ශ්‍රමය කියන සම්පත් වැය කරගෙන කැපවීමෙන් කරන්න ඕන දෙයක්. "වෙදහාමිනේගේ අඩවියේ" පාඨක ඔබෙන් වෙන්න ඕන දේ තමයි මේ වගේ ලේඛණ, දැනුම තියෙන කිසියම් හෝ පුද්ගලයෙක් ගැන ඔබ දන්නා හෝඩුවාවන් වෙදහාමිනේට දන්වන එක. ඒවගේම වෙදහාමිනේගේ වැඩපිළිවෙලට එකතු වෙලා වැඩකරන්න පුළුවන් තමන්ගේ කාලය මේ වෙනුවෙන් යොදවන්න පුළුවන් විශ්ව විද්‍යාල, වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයත් වෙද හාමිනේට තියෙනව නම් ඒකත් වටිනවා. ඒ වගේම ඔබ සතුව පරිගණකයක්, ස්කෑනරයක්, මෛක්‍රෆෝනයක් තියෙනව නම් වෙද දැනුම හෝ වෙනත් දැනුමක් සහිත පැරැන්නන්ගේ ලේඛණ හෝ වෙනත් දේ සංරක්ෂනයට පෙළඹෙන්න. පුළුවන් නම් ඒවා වෙදහාමිනේටත් ඊමේල් කරලා එවන්න. මෙතනදි අදාල දැනුම මහ විශාල පොතක්ද, පුංචිම පුංචි කවියක්ද කියන එක සාපේක්ෂව නොබල හැම දෙයක්ම එක විදියට වටිනවා කියල හිතල හඹා යායුතුයි කියලයි මම නම් හිතන්නේ. මේ ගැන ඔයාලගෙ අදහස් වගේම ප්‍රායෝගික ගැටළු ගැනත් වෙදහාමිනේට දන්වන්න ඔබට පුළුවන්. ංආ! මුලින්ම තිබුණු වෙදගැටය ගැනත් යමක් කියන්න එපෑය. ඒකෙන් කියැවෙන්නේ නාග දෂ්ඨනයකදී කරන ප්‍රත්‍යක්ෂ්‍ය නස්නයක් ගැන. මඟුල් කරඳ මුලේ පොතුත්, (පරණ ගෙවල්වල භාවිතාකළ) මැටිකලය තබන බිම රැඳි මඩත් නර මුත්‍රයෙන් අඹරා අදාළ රෝගියාට නස්න කළ විට විෂ බහින බව තමයි ඒකෙන් දැක්වෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න බැරි, ඒත් සරල පද පෙළක් තියෙන පුංචි කවියක රැඳිල තියෙන්නේ ප්‍රබල මිනිස් සුසුමක වටිනාකම නේද? පොඩ්ඩක් හිතන්න. අපේ අනන්‍යතාවය රැකගන්න ගොඩක් දේවල් ඔබට කරන්න ඉතිරි වෙලා තියෙනවා.

Email - nagarjunaherble@gmail.com

5 comments:

  1. නිරන්තරයෙන් සිංහල බ්ලොග් කියවන් නමුත් මේ බ්ලොගය ඇස ගැටුණු පළමු වතාවයි.
    Hyperthiroidism ආයුර්වේද/සිංහල ප්‍රතිකාර මගින් සුවකල හැකිද?

    ReplyDelete
  2. මමත් මේ අඩවියට ආවේ අදයි. දිගටම එන්නම්. ඔබේ අරමුණ සාකල්‍යයෙන්ම සඵල වේවා.

    ReplyDelete
  3. මේ මගේ පලමු පැමිනීම!

    ReplyDelete
  4. පළමු පැමිණිම සාදරයෙන් පිළිගන්නා අතර නැවැත පැමිණීම ඉතා සාදරයෙන් පිළිගන්නවා. අඩවියට පැමිණීම වගේම ලිපි කියවීමත්, ඒවායේ අන්තර්ගතයේ සඳහන් දේ පිළිගැනීමත් වඩා වැදගත්. පිළිනොගන්නා දේ අභියෝගයට ලක් කිරීම තවත් වැදගත්. මොකද එකතැන පල් නොවී ඇතිවන සංවාද වලින් ආයුර්වේදයේ වැදගත් දේ ඔබ අප සියළු දෙනා හඳුනා ගනීවි.

    AnonymousJan 27, 2012 09:20 AM සඳහා ප්‍රතිචාර -----
    Hyperthyroidism සාමාන්‍ය සිංහල වදනින් පැවසුවොත් ගලගණ්ඩය හෝ එහි වෙනත් ප්‍රභේදයක් විය හැකියි. මෙය මුලු අවස්ථාවන් වලදී හඳුනාගත් විට ඖෂධ පන්තීන් වලින් සුවපත් කළ හැකියි. එහි අවසාන අවස්ථාවන් ශල්‍ය සාද්‍ය හෙවත් ශල්‍යකර්මයකින් පමණක් සුව කළ හැකි බවයි පොත පතේ සඳහන් වෙන්නේ. මෙහි පිළිකාමය අවදානමක් පවා පවතිනවා. ඔබේ පදිංචිය පැහැදිලි නැති බැවින් සතියේ අඟහරුවාදා දිනෙක පෙරවරුවේ රාජගිරිය ආයුර්වේද රෝහලේ පැවැත්වෙන උගුර කණ නාසය පිළිබඳ සායනයට ඉදිරිපත් වන්න. එහිදී ඔබට නිසි උපදෙස් ලැබේවි.

    ReplyDelete
  5. weda - hamine, kuswala weda haamuduruwoth paaramparika weda kenek meda,
    unwahanse dinak puwathpathakata kiya thibuna maa langa thibena danuma mama denna kamathie, eth ayurweda departhamenthuwa eka ganne na kiyala, oba thumiya unwahanse kerehiyh awdanaya yomu kaloth hondai neda,

    obata
    deergau wewa

    ReplyDelete