April 01, 2011


පළතුරු කිව්වහම මතක් වෙන්නෙ මොනවාද? එකිනෙකට වෙනස් පළතුරු වර්ග කීයක නම් තත්පර 10ක් 20ක් ඇතුළත ඔබේ මතකයට ඒවිද?ඔබට වගේම මෙය කියවන බොහෝ දෙනෙකුටත් ඒ නම් අතරින් මුලන්ම මතක් වෙන්නෙ ඇපල්, දොඩම්, මිදි , නාරං වගේ විදේශීය පළතුරු තමයි. එතැනින් ටිකක් ඉදිරියට ගියහම අඹ , දිවුල්, කෙසෙල්, ගස්ලබු, අන්නාසි වගේ අපි නිරන්තරයෙන් නගරයේ පළතුරු කඩවල දකින ජනප්‍රියතම දේශීය පළතුරු වර්ග ටික. ඊළගට මතකයට එන්නෙ රඹටන්, අලිපේර, මංගුස්, දූරියන්, අනෝදා, වරකා වගේ දේවල් . එතැනින් එහාට පළතුරු වල නම් විදියට මතක් වෙන දේවල් බොහොම අඩුයි.මොකද බහුතරයක් දෙනා නගරයේ හරි අර්ධ නාගරික ප්‍රදේශ වල ඉපදිල හැදිල වැඩිල හැමදාම උදේ හවා දැකල,
රස බලල තියෙන්නෙ ඔය ජනප්‍රිය පළතුරු වර්ග ටික විතරයි. කලාතුරකින් හරි කෙනෙක් දෙන්නෙක් තමයි නිතර ඇස නොගැටෙන කාමරංගාවක, දෙඵමක, පලු ගෙඩියක,සියඹලාවක රස බලල ඇත්තෙ.

ඒත් අපේ මේ පුංචි රට ගත්තහම පළතුරු ආකරයක්.අද නාගරික ප්‍රදේශවල පර්චස් දහයෙ පහළොවේ කට්ටි කැඩුණු බොහෝ ඉඩම් මීට වසර දහයකට උඩදි අනිවාර්යයෙන්ම රසම රස දේශීය පලතුරු පැණි සුවද පිරිච්ච,කුරුලු කූජනයෙන් පිරිපුන් සුන්දර ලදු හෝ බඩවැටි තමයි.අදටත් කොළඹින් හැතැප්ම 30ක් 40ක් ඈතට යනකොට මේ වගේ දේශීය පළතුරු වලින් පිරුණු සුන්දර කැළෑ රොදවල් ඕනෑ තරම්.ඒත් අද බොහෝ දෙනා පළතුරු කියල උජාරුවෙන් කන්නෙ අපේ රස පළතුරු එක්ක සංසන්දනය කළොත් ගුණය අතින් පහළම මට්ටමේ තියෙන ආනයනය කළ ඇපල් ගෙඩියක් හෝ දොඩම් ගෙඩියක්.පිටකොටුවෙන් උදේ හවා රැකියා අවසන් වී නිවෙස් කරා යන බොහෝ දෙනා සුජිත් අයියගෙ පත්තර කඩේටත්,ඩේවිඩ් කඩල කඩේටත් අතර තියෙන පටු පදික වේදිකාවේ ඇපල් මිදි ගන්න පොරකන හැටි වෙද හාමිනේ අනන්තවත් දැකල තියෙනවා. ඒත් එතැනින් පඩිපෙළ බැහැල මැනිං මාර්කට් එකට ඇතුල් වෙන කොට විකුණ ගන්න බැරිව පරු වෙලා යන කාමරංගා, වෙරඵ, බෙලි , හින් නාරං වගේ දේවල් තියාගත්තු ගමෙන් එන අම්මලා ළගට ඒ අයගෙන් බොහෝ දෙනා යන්නෙ නැත්තෙ තම තමන්ගෙ ත්වෙට මදිපාඩුවක් වෙන නිසාද දන්නෙ නෑ.ඒ වුණාට අර අම්මලා ළග තියෙන දිවඔසු තරම් ගුණ තියෙන දේවල් ගන්න එන ගැන ටිකක් වෙලා බලන් හිටියොත් පේන්නෙ ඒ බොහෝ දෙනත් කාලෙකට පෙර ඇපල් දොඩම් කාපු, දැන් වෛද්‍ය උපදෙස් මත ඒවගෙන් මිදිල දියවැඩියාවට, කොලෙස්ටරෝල් වලට, පිළිකා වලට බෙහෙත් ගන්න ලෙඩ්ඩු පිරිසක් කියල තමයි.මීට අවුරුදු දහයකට දොළහකට පෙරත් ඔවුන් දේශීය දේවල් වලට හුරුවෙලා හිටිය නම් අද ඔය විදියට පන්න පන්න ගමේ එළවලු, ගමේ පළතුරු හොය හොයා කන්න , පෙති අහුරු ගිල දමමින් නිරන්තර වෛද්‍ය පරීක්ෂා වලට ලක්වෙමින් , අදද හෙටද කියල බයේ ජීවත් වෙන්න ඕනෑ වෙන එකක් නෑ.

ඒ කොහොම වෙතත් අද දවසෙ වෙද හාමිනේ කතා කරන්න යන්නේ ටිකක් විතර වෙනස් පළතුරු වර්ග ටිකක් ගැන.අද වෙද්දි අපට අමතක වෙලා යන අපේ පරම්පරාවෙ ගොඩක් වැඩිහිටියො නමින් අහල තිබුණට දැකල නැති පළතුරු වර්ග ගැන.ඒවා නම් බොහොමයක් විවෘත ආර්ථිකයේ තරගකාරීත්වයෙන් , අපිට - විශේෂයෙන්ම අපේ පොඩි එවුන්ට අහිමි වෙලා ගිය සුන්දර ලෝක වල නෑදෑ හිතමිතුරන් වෙලා හිටිය දං,කීන,මොර,පලු,කටුලොවි, එරමිණියා , උගුරැස්ස වගේ දේවල්. රස විදින්න අත දිග මානෙ නැති වුණත් හිතෙන් හරි රසය මතක් කරගන්න පුළුවන් කාපු කෙනෙකුට නම්. මම මේ සදහන් කරපු පළතුරු වල තියෙන විශේෂත්වය (වාණිජ වශයෙන් තියෙන දුර්වලතාවය) තමයි මේ සියල්ලකින්ම හොද රසයක් ලැබෙන්නේ ගහෙන් කඩා ගත්තු ගමන් ආහාරයට ගැනීමෙන්.වෙලදපළට ප්‍රවාහනයදි ඉක්මනට තැලිල,තැම්බිලා යන මේ දේවල් කල් තියාගන්න එක අමාරු වැඩක්.


දං සහ කීන කියන්නෙ ලංකාවේ බොහෝ ප්‍රදේශ වල වැවෙන ගඩා ගෙඩි වර්ග දෙකක්.කෝපි ගෙඩියක් තරමට ලොකුවෙන දං ගෙඩිය (සමහර ප්‍රදේශ වල හීන් දං) මුලදි ලා කොළ පාටයි.ක්‍රමයෙන් ඉදෙන කොට දම් පාට වෙලා අන්තිමට කළු පාට වෙනවා. ගෙඩි පොකුරු පොකුරු පදුර පිරෙන්නම හැදෙන මේවා කෑවහම දිව, දත් එහෙම දම් පාට වෙනවා. ආමාශගත තුවාල, වණ - අන්ත්‍රගත ප්‍රදාහ වගේ දේවල් සුව කිරීමට හේතුවන මේ දං ගැස්ට්‍රයිටීස් වලින් පෙලෙන අයට හිතකරයි.ඉබේ මුත්‍රා පහවීම පාලනයටත් මේවා උපකාරී වෙනවා. මාදං කියන්නේ මිදි ගෙඩියක් විතර ලොකු වෙන ටිකක් විතර ලොකු ගහක හැදෙන දං වලට හැම අතින්ම සමාන පෙනුමින් යුත් තවත් සුවිශේෂී පළතුරක්.ශරීර අභ්‍යන්තරයේ සිදුවන රුධිර වහනයන් පාලනයට මාදං යොදාගන්න පුළුවන්. ආයුර්වේදයේදී මාදං කොළ පොතු වගේ දේවල් තැලීම්, වැටීම් වැනි අනතුරු වලට ලක්වුණු රෝගීන්ට ප්‍රතිකාර සදහා භාවිතා කරනවා. කීන (සමහර පැති වල චීන) කියන්නේ දං පදුරට සමාන තරමක් දීප්තිමත් කොළ පාටින් පෙනෙන පදුරක හැදෙන දං වලටම සමාන පොකුරු පොකුරු ගෙඩි හටගන්නා වර්ගයක්. හැබැයි ඉදෙද්දි කහ පාටයි. ඉදුනාමත් මිහිරි ඇඹුලකින් කන් දෙක දක්වාම හරිවට්ටවන කීන ගෙඩියක් දෙකක් කෑවාම බඩගින්න මතුවෙන්නෙ හරිම ඉක්මනින්.ඉස්සර කාලෙ කැලේ කොලේ දගළපු පුංචි එවුන්ට කෑම කවන්න "ඇපටෝන්" සිරප් පොවන්න මව්පියන්ට අවශ්‍ය නොවුනේ කීන වගේම ඇඹිල්ලත් ගෙවල් අයිනෙ ලන්දෙ බඩවැටියෙ ඕනෑතරම් තිබුණු නිසා.ඇඹිල්ල කියන්නේ පුංචි පුංචි කොළ තියෙන පොඩි පදුරක ගම්මිරිස් කරලක් වගේ ගෙඩි පොකුරු තියෙන වර්ගයක්.රඹුටන් වගේ කෙදි තියෙන එනසාල් කරලක් වගේ ප්‍රමාණයෙන් යුත් තවත් ඇඹිල්ල වර්ගයක් වියළි කලා‍පයේ බහුලව දක්නට ලැබෙනවා. මේවා ඉදෙන කොට කොළ පාටින් පටන් අරන් ක්‍රමයෙන් රතු රෝස පැහැයට මාරු වෙලා අවසානයේදී කළු වෙලා යනවා. ආහාර රුචිය වඩන්න වගේම පිපාසය සන්සිදුවන්නත් ඇඹිල්ල වලට උපරිමයෙන් පුළුවන්.

අතුපතර තියුණු කටු සහිත විවිධ ගස් වැල් ආක්‍රමණය කරමින් වැඩෙන එරමිණියා වලත් කාලයකට පුංචි පුංචි ගෙඩි එක සීරුවට හටගන්නවා.මේවා ටිකක් ඇඹුල් රසට හුරුයි. කැස්ස හැදිල සෙම බැදිල අවහිර වුණු උගුර පාද ගන්න ලුණු වතුරෙ පොගවපු අමු එරමිණිය ගෙඩියකින් ලැබෙන සහනය අද දවසෙ කැස්සටම කියල විශේෂයෙන් වෙළදපොලට එන ටොෆි, ලොසිංජර වලට වඩා ඉහළයි. හැබැයි අමු එරමිණියා ගෙඩි වැඩිපුර කෑවහමත් උගුර හම යන්න පුළුවන්. ඉදුණු එරමිණියා නම් ඕනෑ තරම් කෑමට ගත්තහැකි. ඊළගට ලංකාවේ සෑම ප්‍රදේශයකම වැවෙන, අද පවා කොළඹ නාගරික ප්‍රදේශවලත් වැවෙන බෝවිටියා රතු රැධීරාණු වර්ධනය කරන ගුණයෙන් යුත් පළතුරක්. කලයක් වගේ හැඩයක් ගන්න හීං බෝවිටියා ගෙඩියෙ පොත්ත ඉවත් කළාම මතුවෙන මදය කුඩු කුඩු සහිත එකක්.මේ මදය කාලා කටපුරා දම්පාට තවරගත්ත සුන්දර අතීතයක් වෙදහාමිනේට උරුම වීම ගැන ආඩම්බරයක් වගේම වෙදහාමිනේගේ දරු පැටවුන්ට ඒ වගේ සුන්දර ළමා වියක් අහිමි වේද කියල බියකුත් වෙදහාමිනේට තියෙනවා. සෙංගමාලය හැදුනු ළමුන්ට වගේම වැඩිහිටි අයටත් , ලේ මදකමින් පෙළෙන අයටත් ගුණදායක හීන් බෝවිටියා කැද ආයුර්වේද ප්‍රතිකාර වලදිත් නිතර භාවිතා වෙනවා. රටපුරාම දක්නට නැති වුණත් වියලි කලාපයේ බහුලය දක්නට ලැබෙන පලු කියන්නෙත් රසවත් පළතුරක්. අරාබිකරයෙ හැදෙන රටඉදි ගෙඩියට හැඩයෙන් වගේම ගුණයෙනුත් සමාන පලු රටඉදි වලට වඩා ප්‍රමාණයෙන් කුඩයි.කොළ පාටින් කහ පාටට හැරිල ඉදෙන පලු ගෙඩි වල ප්‍රණිත පැණි ගතියක් සමග කිරි වලිනුත් සමන්විතයි.නැගෙනහිර පළාතේ සහ පුත්තලම වගේ මුස්ලිම්වරු බහුල ප්‍රදේශ වලදි පලු වලට අධික ඉල්ලුමක් තියෙන්නේ ඒවා පුරුෂ ශක්තිය වර්ධනය කරන ආහාරයක් හැටියට ඔවුන් පිලිගන්න නිසා.ජේ. ආර්.පී සූරියප්පෙරුම මහතාත් දොරමඩලාව වැඩසටහනකදී පුන පුනා ප්‍රකාශකළේ ශක්තිජනක ආහාරයක් වන පලු යනු "දේශීය රටඉදි" බවත් එය ජාතික ආහාරයක් කළ යුතු බවත්ය. පලු වල ගුණ සලකා බැලුවොත් එය වාජීකරණ ශක්තිය ඇතිකරන, ශරීරයේ බලය වඩන, පෘෂ්ඨිය වඩන ආහාරයක්.ඒත් බොහො සිංහල ගම්මැදි වල නම් පලු ගස්යට පරු වෙලා යන පලු ඕනෑ තරම්.



උගුරැස්ස හා කටු ලොවි කියන්නෙත් බොහෝ දෙනා පටලවා ගන්න එක වගේම පෙනුම තියෙන පළතුරු දෙවර්ගයක්.රතු රෝස පාට තද මාංසල කොටසක් තයෙන කාපු ගමන් කට පුරා කහට පැතිරෙන වර්ගය කටුලොවි. ඉදුනාම කළු පාටට හුරු තද දුඹුරු පාටින් යුතු මිහිරි පැණි රහත්-කහට රහත් මිශ්‍රව තියෙන
වර්ගය උගුරැස්ස. උගුරැස්ස ගෙඩයෙ පොත්ත නොබිදෙන්න අතින් තලල කෑවාම කහට ගතිය අඩුයි.හෘද රෝගීන්ට වඩා හතකර, රුධිර ධාවනය ක්‍රමවත් කරන , සම පැහැපත් කරන සහ දන්ත රෝග වලක්වමින් විදුරුමස් ශක්තිමත් කිරීමේ හැකියාවත් උගුරැස්ස වල තියෙනවා.ඒ හැරුණු කොට හෘද රෝගීන්ට හිතකර ඇඹරැල්ලා, සිදරං, හීන් නාරං වගේම දුර්වල ආඝාත හා පක්ෂාගාත රෝගීන්ට ගුණදායක දෙළුම්, අලිගැටපේර, අම්ල පිත්ත රෝගීන්ට සුදුසු ‍ඇඹුල්පේර, රතු පේර (දෙමුහුම් කිලෝ පේර නොවේ.) ආදිය අපේ රටේ උරුමයන්. ඒත් අන්ධයාගේ කකුලේ හැපුණු මැණික ට සිදුවන දේම සිදුවෙමින් අකාරුණික පොරෝ පහරකින් සදහටම මියැදෙන්නට මේ අනගි සම්පත් වලට උරුම වෙලා තියෙනවා.පණුරෝග නසන , අග්නිය වඩන , දත් ශක්තිමත් කරන වෙරළු, වාජීකරණ ශක්තිය වඩන කොට්ටම්බා මද, රට ගොරකා, කාමරංගා, ගර්භාශගත අබාධ වලට ගුණ දෙන උක්පුරුක්, ඉදුණු අළු කෙසෙල් වගේ දේවලුත් අපේ ගුණදායක පළතුරු අතර නිතර නොදකින දේවල්.

මේ විදිහට අපේ ඇසට අසු නොවන බොහෝ ගුණදායක පළතුරු වර්ග වලින් අපේ රට සශ්‍රීකයි. එහෙත් කණගාටුවට කාරණය තමයි, බොහෝ දෙනා මේවා අදුනන්නේ නැතිකම හා ඒවායේ ගුණය පිළිබද අවතක්සේරු මානසිකත්වයකින් කටයුතු කිරීම. යටත් විජිත නිදහසින් පස්සෙ අපි බොහෝ දෙනෙක් විශ්වාසය තබන්නට වෑයම් කලේ නොරටින් එන දේවල් වලට වගේම අප උත්සහ කලෙත් නොරටුන් වගේ ජීවත් වීමටයි කියන එක සාධාරණ සත්‍යයක්. ඒත් ඒ සිතුවිලි හා ඇවතුම් පැවතුම් නිසාම අපි නැවතිල තියෙන්නෙත් දරැණු අදුරු අගාධයක් පාමුල බව තවමත් නිසි ලෙස වටහා නොගැනීම හා අනෙකාට වටහා නොදීමත් අවාසනාවට
ඇත්ත කථාවක්. වැඩියෙන්ම දුක දැනෙන්නෙ අපි අපේ පොඩි එවුන්ටත් තහංචි සීමා පනවල උදේ ඉදන් හවස් වෙනකම් ඩේ කෙයාර් වල ටියුෂන් වල හිර කරල අවහිර කරල තියෙන්නේ ගඩා ගෙඩි අතර රැදෙන මේ සුන්දර අවකාශය නේද කියල හිතෙන කොටයි. ස්වභාවිකත්වයෙන් ඇත් වෙලා තෙරක් නොපෙනෙන වාණිජ තරගකාරී ලෝකෙ අතරමංවෙලා දැන්වීම් වලින් දකින අරැමෝසම් වසවිස ගිලිමින් අපි මේ විනාශ කරගන්නෙ අපේ අධ්‍යාත්මය විතරක් නෙවයි, අපේ අනාගත පරම්පරාවේ නිර්මාණශීලී සෞඛ්‍ය සම්පන්න අනාගතය බවත් මතක් කර ගන්න. මේ එලැඹෙන සිංහල අවුරුදු නිවාඩුවටවත් මලින් පලින් බර සුන්දර ගම්මානයක සතියක් දෙකක් (සංචාරක හෝටලයක නම් නොවේ) නිදහසේ ගත කරල ගඩාගෙඩියක දෙකක රහ බලල එන්න උත්සහයක් ගන්න මැලිවෙන්න එපා.

Email - nagarjunaherble@gmail.com

2 comments:

  1. very useful sis!අපේ උදේ දවල් කාම වේල ගැනත් පොඩ්ඩක් කියලා දෙනවද?

    ReplyDelete
  2. ඇත්තටම දුක හිතුණා මේ ලිපිය කියවද්දී... අපේ පොඩි කාලේ අපේ පොඩි වුන්ට අත් විඳින්න වාසනාව නෑනේ කියලා...

    මේ බ්ලොග් එකට අද ආවේ අහම්බෙන්... දං ගැන ගූගල් සෙවුමක් දානකොට !!! ඇයි මේ අඩවිය සිංහල බ්ලොග් කියවනය වගේ සින්ඩිකේටර් එකකට දාන්නැත්තේ සහෝදරී... මේ වගේ දැනුම තමයි ගොඩක් දෙනෙක් අතරට යන්න ඕනේ...

    මම මේ ලිපිය බුක් මාර්ක් කර ගන්නවා... ගොඩක් ස්තුතියි මේ කරන සේවයට ! ජයවේවා !!!

    ReplyDelete

Powered by Blogger.

Advertisement

Advertisement

Advertisement

ජනප්‍රියම ලිපි

ඇවිත් ගිය ගණන

වටින් පිටින් පැමිණෙන හැටි

free counters

සහපිරිවර