February 09, 2011



අවිස්සා‍වේල්ල ට ආයුබෝවන් කියල ඇවිත් වෙදහාමිනේට නවතින්න වුනේ පින්බර සේරුවිලට නුදුරු තැනක. අලුත් පරිසරය, අලුත් මුහුණු එක්ක අලුත් අත්දැකීම් ගොඩක් එකතු කරගන්න මේ ටික කාලෙට හැකියාවක් ලැබුණා. සිංහල බහුතරයක් ජීවත් වෙන බස්නාහිර පළාතේ හැදිල වැඩිල දෙමළ වචනයක්වත් කථා නොකරපු වෙදහාමිනේ දැන් දෙමළත් ටික ටික කතා බහ කරනවා. මේ පරිසරයට මුහු වෙන්න නම් මේ මිනිසුන්ගෙ ජීවන රටාව, වටපිටාව, මේ පරිසරයටම වෙන්වුණු බෙහෙත් පැළැටි රෝග පරාසයන් වගේම භාෂාවත් හදුනගන්න ඕනෑ වුණා.පසුගිය ලිපියෙ සදහන් කරපු විදියට ආරම්භයේදීම ඇතිවුණ අසීරු අමාරුකම් ජය අරගෙන ආපහු වෙදහාමිනේගෙ අඩවියට ගොඩවෙන වෙලාවේ ඒ අත්දැකීම් වලින් ටිකක් බෙදාහදා ගත්තොත් හොදයි කියල හිතුනා.

නැගෙනහිර පළාත කිව්වහම ගොඩක් දෙනාගෙ හිතේ මැවෙන්නෙ යායට පෙනෙන කුඹුරු යායවල්, වැව් වලින් වතුර ගලාගෙන යන කෙත් ඇලවල්, උදේ හවා හේනට කුඹුරට තමන්ගෙ දහඩිය මහන්සිය වැයකරන ගොවි ගෙවිලියන්, හතේ පන්තියේ සිංහල පොතේ පළමුවැනි පාඩමේ ජීවත්වුණු මුදලිහාමි වගේ ළමා ළපැටියන් වගේ දේවල්. ඒ ඔක්කොම මගේ හිතෙත් ඇදිල තිබුණ - කන්තලේ පහු කරගෙන අල්ල, ගල්ආරු(කල්ලාර්), සේරුනුවර හරහා මේ පළාතට එනකම්.දවස් දෙක තුනකට නාගරික ජීවිතයෙන් මිදිල යහලු යෙහෙලියෝවැඩිහිටියො එක්ක විනෝද සවාරියක් හරි වන්දනාවෙ හරි ඇවිල්ල මේ මිනිස්සුන්ගෙ ජීවිත වලට උඩින් එබිල බලද්දි අපිට පේන්නෙ අර මම කළින් කිව්ව විදිහෙ අ.පො.ස. සාමාන්‍යපෙළ චිත්‍ර පාඩමේදී දිය සායම් තවරල ලස්සනට අදින ග්‍රාමීය දර්ශණයක් තමයි. හැබැයි මේ මිනිස්සු එක්ක ජීවත් වෙද්දි ඒ ලස්සනට යටින් මතුවෙන දුක්ඛ දෝමනස්සයන් බොහෝමයි.

සිව්වන ඊළාම් යුද්ධය ඇරඹුණු මාවිල්ආරු සොරොව්ව අත පොවන මානයේ වුනාට මේ ප්‍රදේශයේ ජිවත්වෙන පවුල් තුන්දහසෙන් දෙදහසකටම තමන්ගෙ ගොවිතැන් කරන්න වෙලා තියෙන්නේ අහස් දියෙන් විතරයි. මෙහෙට වැස්ස ලැබෙන්නේ සාමාන්‍යයෙන් ඔක්තෝබර්- ජනවාරි අතර ඊසාන දිග මෝසමෙන්. ඒ නිසා කරන්න ලැබෙන්නේ මහ කන්නය විතරයි. මෙදා පාර නැගෙනහිර පළාතට ලැබුණු අසීමිත වර්ෂාව නිසා සිද්ධ වුනේ පීදෙන්න ලක ලැහැස්ති වෙලා තිබුණු ගොයම සහමුලින්ම වගේ විනාශ වෙලා ඔවුන් තවත් අසරණ වුණු එක විතරයි. ඒ වැස්සෙන් මේ ප්‍රදේශයේ තිබුණු කුඩා වැව් තුන හතරක් කඩාගෙන ගිය නිසා මෙහෙ මිනිස්සුන්ට ඊළග මාස තුන හතරෙදි කටුසර බෝගයක් වගා කරන්න විතරක් නෙවෙයි නාන්න පවා වතුර ටිකක් හොයාගන්න අමාරු වෙන පාටයි. පහුගිය සමයෙත් මෙහෙ උදවිය බොන්න වතුර ටිකක් හෙයාගන්න හැතැම්ම දෙක තුන දුර ලිං වලට යන අවස්ථා වෙදහාමිනේ දැක්කා. එහෙම ගිහිල්ලත් ගොඩක් වෙලාවට ගේන්න වෙන්නෙ මළකඩ/කිවුල් රහ තියෙන කැකෑරුණු වතුර තමයි. ඒ වතුර නිසි ලෙස උණු කර පෙරා පානය නොකරන නිසා මෙහේ මිනිස්සු වකුගඩු අමාරු වලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් පේන්න තිබුණත් ඒකෙන් මිදෙන්න ලොකු වුවමනාවක් එදා දවස කොහොමහරි ගෙවා ගන්න හිතන ඔවුනට ඇත්තෙ නෑ.



වසර තිහක යුද්ධය නිසා මේ ප්‍රදේශවලින් ඉවත්වෙලා ඈත ප්‍රදේශවල පදිංචියට ගිය අය දැන් නැවතත් මෙහේ පදිංචියට ඇවිත් තිබුණත් ඒ එනකොට ඔවුන් සතුව තිබුණු නිවාස විනාශ වෙලා ගිහින්- ඉඩ කඩම් කැලෑවට ගිහින්. ඒ සමහර අය පදිංචි වෙලා හිටපු හෝ වගාකරපු ඉඩම් දැන් මුස්ලිම් ජාතිකයන් විසින් ඔප්පු තිරප්පු සකසාගෙන භාවිතා කරන නිසා එවැනි අයට සිද්ධ වෙලා තියෙන්නේ රජයේ ඉඩම් වල කටුමැටියෙන් සකසා ගත් නිවාස වලට වී දුක්ඛිත ජීවිත ගත කරන්න.මේ ප්‍රදේශයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් ක්‍රියාත්මක වුණත් ඒවායේ බොහෝමයක් නිළධාරීන් සිංහල නොවන නිසා සිංහල ජාතිකයන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය සතුටුදායක නෑ. වෙදහාමිනේ ජාතිවාදී නොවුණත් සත්‍ය තත්වය ඒ විදියෙන් දක්වන්නේ සිදුවන අසාධාරණය දෑසින්ම දකින නිසයි. මෙහෙට පත්වෙන බොහෝ සිංහල පරිපාලන නිලධාරීන් හැකි හැම වෙලාවෙම උත්සහ ගන්නේ දකුණේ ප්‍රදේශයකට මාරුවක් හදාගන්න. හැබැයි උවමනාවෙන්ම ඉන්න හදන සමහර නිළධාරීන් පිරිසකුත් මේ අතර ඉන්නවා. ඒ අය බොහොමයක් ඉඩකඩම් වවාගෙන,දැව හෝ වෙනත් නීතිවිරෝධී ජාවාරම් වලට දායක වෙමින් කටයුතු කරන බව ප්‍රදේශයේ ප්‍රසිද්ධ රහස්. උපන්බිමේ අනවසර පදිංචිකරුවන් හැටියට ලේඛණ ගත වෙලා ඉන්න මේ සිංහල පිරිස් අතර පවතින අසමගියත් , පිල් බෙදීමත් නිළධාරීන් ලවා තමන්ගේ වුවමනා රාජකාරීමය කටයුතු කරගන්න ලොකුම බාධාවක්. කෙටියෙන්ම කිව්වොත් මෙහේ පරිපාලන යාන්ත්‍රණයේ ස්වභාවය 1940 ගණන්වල රජරට ආදායම් පාලකයෙක් වුණු විමලරත්න කුමාරගම වාර්තා කළ විදියෙම තත්වයක් තමා තියෙන්නේ.

ඊළග ලොකුම දුෂ්කරතාවය අලි කරදරය.සෝමාවතී වනෝද්‍යානයට මායිම් වෙන මේ ප්‍රදේශය අලි ඇතුන්ටනම් තෝතැන්නක්. හැමදාම හවස හතර පහ වෙනකොට කැලේ අලි ගම් වදින එක සාමාන්‍ය දෙයක්. අලි කරදරය නිසා කිසිම වගාවක් හරියාකාරව කර ගන්න බෑ. පොල් පැලයක්, කෙසෙල් පැලයක් , වී ටිකක් වගා කර ගත්තත් මෙයාලගෙන් බේර ගන්න පුදුම යුද්ධයක් කරන්න ඕන. මේ මහ කන්නෙට වී වගා කරපු අය හවස හතර හමාර වෙන කොට රෑට බත් ගෙඩියකුත් බැදගෙන කුඹුරට ගිහින් මදුරුවෝ තල තලා පැල් රකින්න පටන් ගන්න ඕන.වසර පහ හයකට කලින් යුද්දෙ දවස් වල මේ තරමට අලි කරදර නොතිබුණු බවයි ගමේ පරණ උදවිය කියන්නේ. දැන් අලි කරදර වැඩි වීමට හේතුව පින්නවලින් හෝ ඇත් අතුරු සෙවණින් මුදා හරින අලි ඇතුන් බොහොමයක් සෝමාවතිය වනෝද්‍යානයට මුදාහැරීම බවයි ඔවුන් කියන්නේ.මොකද මේ අලි මිනිසුන්ට බය නැති නිසා වගාවකට වැදුණු විට කෙතරම් එලෙව්වත් ඉවත නොයා විනාශ කරන බවයි දැනගන්න ලැබෙන්නේ.ඒ නිසා වනෝද්‍යාන මායමට විදුලි වැටක් හෝ ලැබෙනව නම් වඩා යහපත් බවයි ප්‍රදේශවාසීන්ගේ අදහස.



ප්‍රදේශයේ අවහිරතා, දුෂ්කරතා ගැන කියනවනම් තවත් ගොඩක් දුරට විස්තර කරන්න පුලුවන්. ඒ අතරට ගමනාගමන දුෂ්කරතා, නිෂ්පාදන අලෙවිකරණ ගැටලු, සන්නිවේදන පහසුකම් පිළිබද ගැටලු වගේ දේවල් ප්‍රධානයි. ඒ මොන දේවල් වුණත් දරාගෙන මිනිස්සු මෙහේ රැදී සිටිමින් යුධ සමයේ පවා ගම් බිම් අත්හැර නොගියේ සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ගරු සේරුවිල සරණකිත්ති ස්වාමීන් වහන්සේගේ එඩිතර ක්‍රියාමාර්ගයන් නිසයි. අපි කවුරුත් අහල පුරුදු දිඹුලාගල හිමියන්ගේ කාර්යභාරයම නැගෙනහිර සිංහල සළකුණ රදවා තබාගැනීමට උන්වහන්සේ කළ කාර්යභාරය මිළකල නොහැකියි. කොටි ත්‍රස්තවාදීන් විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැමූ අවස්ථාවේ එයට විරුද්ධව උපවාස ක්‍රියාමාර්ගයක් දියත් කර රජයේ අවධානය වහාම යොමුකර කොටි ත්‍රස්තවාදය විනාශ කිරීමට මූලිකත්වය ගත්තේත් උන්වහන්සේයි.

එහෙනම් ඉතිං තවත් තොරතුරු සහිත ලිපියකින් යලිත් හමුවෙනතුරු අදට වෙදහාමිනේගේ ලිපිය නවත්වන්නම්.

Email - nagarjunaherble@gmail.com

2 comments:

  1. ඕවා ගැන කතා කලොත් ඉතින් සිංහලායට ජාති වාදි ලේබලය අලවන්න බලං ඉන්න මහාමානුෂාවිදියෝ ටික්ක මේ රටේ ඉන්නනවා තමයි

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මේ ගැන දැනුවත් කලාට.
    නරකද මේ ගැන මාධ්‍ය ආයතනවලටවත් දැන්නුවොත් පිට කොන්දක් තියෙන අය හිටියොත් මේ ගැන ලියාවිනේ.
    අපි මෙහේ කාල බීල හිටියට මේ මිනිස්සු දුක් විදින හැටි.
    එතකොටවත් අඩු ගානේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙවිනි.

    ReplyDelete

Powered by Blogger.

Advertisement

Advertisement

Advertisement

ජනප්‍රියම ලිපි

ඇවිත් ගිය ගණන

වටින් පිටින් පැමිණෙන හැටි

free counters

සහපිරිවර