හැමදාම තෙල් ජෙල් ගාපු හිසට අවුරැද්දටම එක සැරයක් නැකතට තෙල් ගාමුද?


සිංහල හින්දු අලුත් අවුරැද්ද ඉවරයි. නැකැත්, චාරිත්‍ර වාරිත්‍ර, නෑදෑ හිතමිතුරන් අතරෙ ගෙවුනු සුන්දර දින කිහිපය නිමා වෙලා ආයෙමත් සුපුරැදු යාන්ත්‍රික ජීවන රටාවට අවතීර්ණ වෙන්න බොහෝ දෙනෙකුට සිදුවෙලා. ජ්‍යොතිෂය, ආයුර්වේදය හා බුදු දහම කියන අග්නිදිග ආසියාවේ විශිෂ්ඨතම ප්‍රායෝගික දර්ශනයන්වල අපූරැ සංකලනයන් සමග සොබාදහමත් එකතු පහදු කරගෙන පවත්වන සූර්ය මංගල්ලය කාල, බීල, නටල විනෝදවෙන්න යොදා ගත්ත අවස්ථාවක් ‍නොවෙයි.(කාල, බීල, නටල විනෝදවෙන්න අපේ පැරැන්නන් භාවිතා කළේ කාර්තික උළෙල- ඒක යෙදෙන්නෙ යල කන්නෙ නිමවුණාම අගෝස්තු මාසෙ දිහාවට. බෞද්ධ දර්ශණයේ මුල් බැස ගැනීමත් සමග ලෞකික දේවල් වල හරසුන් භාවය තේරැම් ගත්ත අපේ පැරැන්නන් ඒ උළෙලට බෞද්ධ මුහුණුවරක් දුන්නා. දැන් ඇසළ පෙරහර වල් පවත්වන්නේ මේ කාර්තික උළෙල වෙනුවට තමයි.)සිංහල - හින්දු අලුත් අවුරැද්දෙ ප්‍රධානම නැකැත් හතරෙන් තුන් වෙනි තැනට යෙදෙන්නෙ "හිස තෙල් ගෑමේ නැකත". රෝගී වී ප්‍රතිකාර ගැනීමට වඩා නිරෝගීව සිටීමේ වැදගත්කම තේරැම් ගත්ත අපේ මිනිස්සු "හිස තෙල් ගෑමේ නැකත" අවුරැදු චාරිත්‍ර වාරිත්‍ර වල වැදගත්ම චාරිත්‍රයක් කියල සැලකුවා. අදටත් ඒක ඒ විදිහටම හිතන බොහෝ දෙනෙක් අපේ රටේ ඉන්නවා.

ආයුර්වේදයේ හිසට කියන්නේ "උත්තමාංගය" (උත්තම + අංගය) කියල. හිස නිසිලෙස පවත්වා ගත්තොත් අනෙක් හැම අංගයක්ම ආරක්ෂා කර ගත හැකි නිසා තමයි ආයුර්වේදයේදි හිස ට ඒ විදියෙ "විශේෂණ නාමයක්" ලැබිල තියෙන්නෙ. හිස රැකගන්න පිලිපදින්න ඕන ප්‍රධානම දේ තමයි - හිස තෙල් ගෑම. ඉතිරිවා පිළිවෙලින් සම්බාහනය හා පිරිසිදු කිරීම. අද කාලෙ තරැණ තරැණියෝ බොහොම උජාරැවෙන් පාවිච්චි කරන සුවද කැවූ සගන්ධ සාර (නවරත්න තෙල් වගේ),රසායනික ජෙල් හා ෂැම්පු වර්ග වලට වඩා බොහොම ඖෂධීය තෙල් වර්ග ගණනාවක් අපේ වෛද්‍ය ක්‍රමයෙ තියෙනවා. අද දවසෙ තරැණ වියේ මැද හරියෙ ඉන්න බොහෝ දෙනෙකුට තියෙන නිතර නිතර මතුවන හිසරදය, සෙම්ගෙඩි, අකලට හිසකෙස් ගැලවී යාම, අකලට හිසකෙස් පැලීම, පීනස, (විශේෂයෙන් කාන්තාවන්ට හැදෙන)ඇස් වල දැලක් බැදීමේ තත්වය, කකුල් පැලීම වගේ බොහෝ දේවල් වලට හේතුව තමයි අර නවීන රසායනික නිෂ්පාදන ඉවක් බවත් නැතිව පාවිච්චියට ගැනීම. (දැන් දැන් ආයුර්වේද කියල දැන්වීම් වල කියන සමහර නිෂ්පාදනත් රසායනික ද්‍රව්‍ය වල සංකලනම තමයි. රටේ නීතිරීති ව්‍යාපාරිකයින්ට ඕන විදියට වෙනස් කරන රටක් තමයි අපේ රට) බොහෝ දෙනා නොදන්නවා වුණාට අපේ ඇස් වල පෙනීම රදා පවතින ස්නායූ වල මූලික තන්තු ආරම්භ වෙන්නේ හිස් මුදුනින් හා ඇගිලි කෙළවරින්. ඒ නිසා හතළිස් ඇ‍දිරිය එනතුරැ වත් ඇස් දෙක පරෙස්සම් කර ගන්න නම් හිසට, නියපොතු වලට අනවශ්‍ය දේවල් ගල්වන්න එපා. හිසට නිසි සාත්තුවක් නොලැබීමෙන් ඇතිවන තවත් රෝගී තත්වයන් ‍කිහිපයක් තියෙනවා. ඒ තමයි කණ සම්බන්ධ විවිධ ආබාධ, ගද සුවද නොදැනීමේ තත්වයන් වගේ දේවල්. (කොළඹ කුණු කදු ගාවින් යන එන අයට, උදේට හවසට බස් වල තෙරපිලා යන අයට නම් එහෙම වෙන එක හොදයි කියලත් හිතෙනවා ඇති)

ඔබත් දැනට ඉහත දැක්වූ රෝගී තත්ව වලට ගොදුරැ නොවූ අයෙක් නම් ඉදිරියේදී ඒවාගෙන් බේරෙන්න හිසේ තෙල් ගැල්වීම ඇරඹීමට පසුබට වෙන්න එපා. දැනට ඉහත රෝගී තත්ව ඇති අයෙක් නම් නිවරදි දේශීය වෛද්‍ය වරයෙකුගේ උපදෙස් වලින් පසු හෙමි හෙමිහිට හිසතෙල් සාත්තුවකට පුරැදු පුහුණු වෙන්න පටන් ගන්න. නීල්‍යාදී , කේතකී හෝ නිශාදි කියන දැඩි සුවදකින් තොර ඖෂධීය තෙල් වර්ගයකින් මේ වැඩේ ආරම්භ කරන්න. හැබැයි තෙල් ගාන කෙනෙක් නම් රාත්‍රියට තෙල් ගා පසුදා උදේම (දවල් 11ට පෙර) නා ගැනීමටත් හුරැ විය යුතුයි. තෙල් ගෑමෙන් පසු හිසකෙස් අතරින් ඇගිලි තුඩු යවාහොදින් හිස් කබල පිරිමැදීමෙන් වඩා සාර්ථක ප්‍රථිඵල ලබා ගත හැකියි. මේ විදියට සතියට දෙතුන් පාරක් බැගින් කලාම හොදටම ඇති. තෙලෙන් නිරන්තරයෙන් තෙත්වන හිසක් ඇත්තෙක් මනා සිහිබුද්ධියෙන් යුත් තැනැත්තෙක් බවයි ආයුර්වේදයේ ලියවිලා තියෙන්නේ. හිසේ ගල්වන තෙල් සදහා එදා සිට අද දක්වාම යොදාගන්නේ බොහොම වටිනා ඖෂධ. ඒවා අතර කීකිරිදිය, කොහොඹ,කෝමාරිකා,ගොඩපර,වෙරලු,උලුහාල්, වදමල්, රත්මල් වැනි දෙවල් ප්‍රධානයි.

අවුරැදු නැකතට තෙල් ගාද්දි ඊට අමතරව විශේෂයෙන් යොදාගන්නා ද්‍රව්‍යයක් තමයි, නානු. අද දවස වෙද්දි නානාප්‍රකාර සබන් වලට හුරැ පුරැදු වෙච්ච අපිට ආගන්තුක වුණාට අතීතයේදී දිනපතාම නෑවෙ නානු ගාල තමයි. නානු හැදෙන්නේ පොදු ඖෂධ වට්ටෝරැවකට අනුව තමයි. ඒ සදහා යොදා ගැනෙන ඖෂධ වෙන්නෙ ගෝරෝචන,සුදුහදුන්, සස්සද මුල්, නස්නාරං මුල්, බෙලි මුල්,ගොඩමානෙල්, විෂ්ණු ක්‍රාන්ති, වෙනිවැල්ගැට,ඉරිවේරිය, කලාදුරැ, හා ඊතණ. හැබැයි ජ්‍යොතිෂ්‍යය අනුව කෙරෙන අවුරැදු හිසතෙල් ගෑමෙදි අදාළ වසරට අනුකූලව ග්‍රහ බලපෑම් සමනය කිරීමට වැදගත්වෙන ඖෂධත් නානු සෑදීමට යොදා ගන්නවා. මෙදා පාර නානු සදහා විශේෂයෙන් යෙදුණෙ බෝ කොළ යුෂ. ලබන අවුරැද්දෙදි වෙනත් කොළ ජාතියක් යෙදේවි. සෑම ගමකම පන්සලේ හා වෙද ගෙදර ( අද තියෙන්නෙ ඩිස්පැන්සරි) මේ හිසතෙල් හා නානු අනිවාර්යයෙන්ම හිදිනවා. මේ අවුරැද්දෙදි නැකතට හිසතෙල් ගාන්න බැරි වුණානම් ලබන අවුරැද්දෙ නැකත් දවසෙ උදේම පන්සලට ගිහින් හිසතෙල් හා නානු අරන් එන්න අමතක කරන්න එපා. සංකේතයක් විදියට අවුරැදු චාරිත්‍ර වාරිත්‍ර වලට විතරක් හිසතෙල් ගාලා විතරක් නම් මදි තමා. ඒත් එහි වැදකත්කම මොකද්ද කියල හිතල බලන්න හරි මේ චාරිත්‍රය අන්තර්ගත වෙලා තිබීමම වැදගත්.

හිසතෙල් ගෑම දේශීය වෛද්‍ය ක්‍රමය අනුගමනය කිරීමට හා එහි වැදගත්කම ජනතාවට වටහා දිය හැකි හොදම දිනය බවට රජය පසුගිය වසරෙදි ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් හැටියට මෙවර පටන් සෑම වසරකම අදාළ නැකත යෙනදන දිනය"ජාතික ආයුර්වේද දිනය" හැටියට නම් කරලා තියෙනවා. මේ වර්ෂය ආයුර්වේද වසර හැටියට නම් කරලත් තියෙනවා. ඒත් දැනට මේ වසරෙන් තුනෙන් පංගුවක් ගෙවිල ඉවර වුණත් ආයුර්වේද වසර වෙනුවෙන් සැලකිය යුතු තරමෙ ක්‍රියාකාරීත්වයක්
මේ වෙනුවෙන් දෙපාර්තමේන්තුවෙන් වත් අමාත්‍යාංශයෙන්වත් විශේෂයෙන් ආරම්භ කරල නෑ. එහෙම දෙයක් කෙරෙනව නම් දැන් දැන්ම පටන් ගන්න එක තමා හොද. නැත්නම් මුල්ගල් තියල, පහන් පත්තු කරල, චක්‍රලේඛ දිග ඇරල, වඩේ පටන් ගන්න ලෑස්ති වෙනකොට 2011 ලබල තියේවි.