May 03, 2010


අද බටහිර වෛද්‍ය ප්‍රතිකාර පතන බොහෝදෙනා ආඩම්බරයෙන් කතා කරන්නේ තමන් උපදෙස් ගන්න විශේෂඥ වෛද්‍ය වරැන්ගෙ වගතුග.එහෙම විශේෂයෙන් කතා නොවුණත් ආයුර්වේදයත් සැබෑවටම අංශ ගණනාවක් ඔස්සේ වෙන වෙනම ප්‍රභේද ගත වී තිබෙනවා. රෝගියෙකු නොවී නිරෝගීව සිටීමේ වැදගත් කම සැමවිටම අපේක්ෂා කළ ආයුර්වේදයේ ප්‍රභේද අටක් තියෙනවා. මේක " අශ්ඨාංග ආයුර්වේදය" කියල තමයි හඳුන්වන්නෙ.ඒවා මොනවද කියල නම් කරනවනම්,

01. කාය චිකිත්සාව
02. කෞමාර චිකිත්සාව
03. ශල්‍ය චිකිත්සාව
04. ශාලාක්‍ය චිකිත්සාව
05. භූත චිකිත්සාව
06. අගද චිකිත්සාව
07. රසායන චිකිත්සාව
08. වාජීකරණ චිකිත්සාව

ඇලොපති එහෙමත් නැත්නම් බටහිර වෛද්‍ය විද්‍යාව මේ වගේ විවිධාංගීකරණයක් ගැන නොහිතපු අවුරැදු දහස් ගණනකට පෙර කාලයේ සිටම මෙම විවිධාංගීකරණය ආයුර්වේදයේ නම් පැවතුණා.උදාහරණයක් විදියට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මෑත කාලීනව හඳුනාගත් ඒඩ්ස් රෝගය ගැන ආයුර්වේදයේ කාය චිකිත්සා ග්‍රන්ථ වල වැරදි චර්යාවන් නිසා ඇතිවන පිරංග රෝග (සමාජ රෝග) කොටස යටතේ සාකච්ඡා කෙරෙනවා.ඒ වගේම පාරම්පරික පර්යේෂණ මගින් ලබාගත් දැනුම භාවිතා කරමින් මෙවැනි සුව කළ නොහැකියැයි සම්මත රෝග වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරැන් කීපදෙනෙක් අදටත් මෙරට ජීවත් වෙනවා.ඊළගට මේ ළඟකදි මහත් ආන්දෝලනයක් ඇතිවුණු,චිකන්ගුණ්‍යා කියන උණ රෝගය ගැනත් අපේ කාය චිකිත්සා ග්‍රන්ථ වල ජ්වර(උණ) රෝග යටතේ සාකච්ඡා වෙනවා.බටහිර වෛද්‍ය ක්‍රමයෙන් මෙම රෝගයට ප්‍රතිකාර ගෙන උණ රෝගයෙන් සුවපත් වුණු බොහෝ දෙනෙකු වසරකට දෙකකට පසුවත් අද වනතුරැත් අඛණ්ඩව හන්දිපත් අමාරැවෙන්, වෙනත් අතුරැ ආබාධ වලින් පීඩා විඳිනවා.එහෙත් ආයුර්වේද ක්‍රමයෙන් අදාළ රෝගයට ප්‍රතිකාර පැතූ කිසිවෙකුට එවැනි අතුරැ ආබාධ වැළඳී නැහැ.

අපි අෂ්ඨාංග ආයුර්වේදයේ පළමු ප්‍රභේදය වන කාය චිකිත්සාව ගැන කතා කළොත් එහි විස්තර වන්නේ සාමාන්‍යයෙන් නිතර අපට වැළදෙන කායික රෝග ගැන.ඒ කියන්නේ මධුමේහය,අතිරක්තචාපය(අධි රැධිර පීඩනය), උණ, අතීසාරය, ග්‍රහණි, අර්ශස්, වගේ රෝග වල නිධාන, ප්‍රතිකාර හා අදාල රෝග වලින් වැලැකීමේ ක්‍රම ගැනයි.

කෞමාර චිකිත්සාව කියල කිව්වේ අවුරැදු 16ට අඩු ළමයින්ගේ රෝග ගැන සදහන් කොටසට.සාමාන්‍ය වැඩිහිටියෙකුට වඩා නොවැඩුණු දරැවෙකුට ප්‍රතිකාර කිරීම සැලකිල්ලෙන්ම කළ යුතු වැඩක්. ඒවගේම දරැවන්ට රෝග සඳහා වගේම ඒවට කරන ප්‍රතිකාරත් දරාගැනීමේ හැකියාව අඩුයි.ඒ නිසා ඔවුන්ට ලබාදෙන්නේ සියුම් හා මෘදු ඖෂධ වර්ග.ඒවගේම නැවුම් හා මධුර රසයෙන් යුත් ප්‍රතිශක්තිය වැඩිකරවන ඔසු වර්ගත් දරැවන් වෙනුවෙන්ම වට්ටෝරැ කරල තියෙනවා."රත කල්කය" කියන්නෙත් දැන් දෙන නොයෙක් ජාති එන්නත් වලට වඩා පහසුවෙන් දරැවන්ට රැකවරණය සලසන ප්‍රතිශක්තිකරණ බෙහෙතක්. ඔය එන්නත් විශ වෙලා
ළමයි මැරැණත් කවදාවත් රත කල්කය බීලා ළමයෙක් මැරැණා කියල අහල නෑ නේද?

ශල්‍ය චිකිත්සාව කියන්නේ ආයුර්වේදයේ ශල්‍යකර්ම ක්‍රමවේද ගැන සඳහන් වන කොටස.හැබැයි බටහිර වෛද්‍ය ක්‍රමය ප්‍රධාන වෛද්‍ය ක්‍රමය ව‍ශයෙන් පිළිගත්ත අපේ රටේ ශල්‍යකර්ම කිරීම දේශිය වෛද්‍යවරැන්ට තහනම් කරල නීති පනවලා තමයි තියෙන්නේ.අද වෙනකොට භාවිතයෙන් වගේම ඒ ගැන කෙරෙන අනාගත පර්යේෂණ පවා නවත්වලා තිබුණත් අපේ ශරීරයේ අනවශ්‍ය අවයව ඉවත් කිරීමේ සාර්ථක ශල්‍ය කර්ම සීතාවක යුගය දක්වාත් කෙරැණු බවට සාකෂ්‍ය ඕනෑ තරම්.අද තරම් පහසුකම් නොතිබුණු එදා ශල්‍යකර්ම සඳහා ප්‍රධාන උපාංගය වුණේ වෛද්‍යවරයාගේ අත.ඊළගට සුචි හා සූත්‍ර ,ඒෂණී යන්ත්‍ර,ශලාකා වගේ උපකරණත් කැපුම් තලත් භාවිතා කෙරැණා.අදටත් බටහිර බෙහෙතෙන් සාර්ථකව සුවකළ නොහැකි උඩුදුවා ගිය භගන්දර (fistrla in ano), අර්ශස් තත්වයන්ට සුලු ශල්‍යකර්ම සුචි හා සූත්‍ර භාවිතයෙන් ආයුර්වේද රෝහල් වලදී සීමිත වශයෙන් සිදුකෙරෙනවා.පිළිකා හා වකුගඩු රෝගත් මේ කොටසට අයත්.

ආයුර්වේදයේදී ශරීරයේ උත්තමාංගය විදියට හඳුන්වන හිසේ හා ඒ හා සම්බන්ධ ඇස්, කන්, නාසා, දිව ආශ්‍රිත රෝග, ඒවාට ප්‍රතිකාර හා අදාළ රෝග වළින් වැලකීමේ මාර්ගය ගැන සඳහන් වෙන්නේ ශාලාක්‍ය චිකිත්සාවේදියි.මේ කොටසෙදි තමයි ශරීරයේ සංවේදීම අවයව ගැන අවධානය යොමුවෙන්නේ. උදාහරණයක් විදියට ඇසේ රෝග සඳහා නියම කරන සමහර බෙහෙත් භාවිතයට පෙර දහස් වාරයක් පෙරා ගත යුතු බවයි පොතේ පතේ දැක්වෙන්නේ.

අද සමාජයේ ගැරහුමට ලක්වෙන ගණයේ රෝගයන් වන මානසික රෝග තත්වයන් උදෙසාද ප්‍රතිකාර ආයුර්වේදයේ භූත චිකිත්සා කොටසෙදි සාකච්ඡා වෙනවා.මෙහිදී ප්‍රතිකාර කොටස් තුනක් භාවිතා කෙරැණා. පළමුවැන්න ඖෂධ හා නිල වෙදකම,දෙවනුවභාවනා- ව්‍යායාම- සංගීතයවගේ දේවල්, තෙවනුව බලි තොවිල් ශාන්ති කර්ම ආදිය.(වෙදහාමිනේ ටෙලිනාට්‍යය බැලුවනම් මානසික රෝගින්ට එදා බෙහෙත් කල හැටි ගැන යම් අවබෝධයක් ලැබේවි.)නමුත් අද දවසෙදි ආයුර්වේදයේ සඳහන් සම්පූර්ණ ප්‍රතිකාර පද්ධතියටම සම්බන්ධ නොවී එහි තුන්වෙනි කොටසට පමණක් යොමුවීමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟාකරගන්නට උත්සහ දරණ රෝගීන්ගේ භාරකරැවන් නිසා රෝග උත්සන්න වන අවස්ථා එමටයි.

අගද චිකිත්සා කොටසින් සාකච්ඡා කරන්නේ විෂ ශරීර ගත වීමේදී කරන ප්‍රතිකාර පිළීබඳව.අපට ශරීර ගතවන විෂ කොටස් දෙකක් තියෙනවා. ඒ ස්ථාවර හා ජංගම විෂ වශයෙන්. විෂ සහිත යම් ද්‍රව්‍යයක් ස්පර්ශයෙන් හෝ ගිලීමෙන් ඇතිවන විෂ ස්ථාවර විෂ. සර්පයන්, බල්ලන් හා බළලුන් වැනි සතුන් දශ්ඨනයෙන්- සපාකෑමෙන් ඇතිවන විෂ ජංගම විෂ. විෂ චිකිත්සාව සඳහා ප්‍රතිකාර කිරීමේදී විෂෙහි ස්වභාවය හා විෂ ශරීර ගත වීමේ ක්‍රම අඳනාගැනීමට දූත පරීක්ෂාව වගේ සාමාන්‍ය අයෙකුට වටහා ගත නොහැකි ගුප්ත ක්‍රමත් භාවිතා කිරීමට වෛද්‍ය වරැන් අනිවාර්යයෙන් සමත්.තවමත් විෂ ශරීර ගතවීමට බටහිර ක්‍රමයෙදි යොදා ගන්නේ ප්‍රතිවිෂ එන්සෛම එන්නත් කිරීමේ ක්‍රමය. නමුත් ආයුර්වේද ක්‍රමයෙදි ඊට වඩා සූක්ෂමව ශරීරයේ විෂ ඉවත්කිරීමේ ක්‍රමයක් තමයි භාවිතා වෙන්නේ. ඒ ක්‍රමයෙදි අතුරැ ආබාධ වලට කොහෙත්ම ඉඩක් ඇත්තෙ නෑ.

රසායන චිකිත්සාවෙදි සාකච්ඡා වුණේ රෝගියෙකුගේ හෝ රෝගී බවින් මිදුණු පුද්ගලයෙකුගේ ශරීර යෝග්‍යතාවය ආරක්ෂා කරන්න යොදන ප්‍රතිකර්ම පිලීබඳවයි.මිනිසාගේ ශරීරයෙන් විවිධ හේතු මත පිරිහෙන බලය වර්ධනය කිරීමට තමයි රසායන චිකිත්සාව යොදාගත්තෙ. මේක සමාන කරන්න පුලුවන් අද දවසෙ විටමින් වර්ග නියම කිරීමේ ක්‍රියාවලියට තමයි.

අවසානයට කථාකරන වාජීකරණ චිකිත්සාවෙදි සාකච්ඡා වුණේ සමාජයේ විවාතව කථා නොකරණ මිනිසාගේ ලිංගික ක්‍රියාවලිය ආශ්‍රිත රෝග හා අඩුලුහුඩුකම් පිළිබඳව.ස්ත්‍රී පුරැෂ බේදයෙන් තොරව දෙපක්ෂයේම දුර්වලතා සඳහා අවශ්‍ය වුණු ප්‍රතිකාර සාර්ථකව අවශ්‍ය අපේක්ෂාවන් ඉටුකිරීමට සමත්වුණා. අද දවසෙ වැහි වැහැල තියෙන විවිධ පෙති වර්ග , ගුලි වර්ග වලින් කෙරෙන්නෙ රෝගය සාර්ථකව මැඩලීම වෙනුවට තාවකාලිකව සුවයක් ලබාදී දිගුකාලීනව රෝගය උත්සන්න කිරීමයි.තමන්ගෙම දරැ පැටියෙක් බලාපොරොත්තුවෙන් රැපියල් ලක්ෂ ගණන් වියදම් කරල කරන්න නියම කරන කලල බද්ධයක් වෙනුවට කසාය වඩි කිපයකින් අවශ්‍යතාවය ඉෂ්ඨ කරල දෙන ආයුර්වේද වෛද්‍යවරැන් තවමත් රටේ හිඟ නෑ.

දැන් ඔබම හිතල බලන්න අෂ්ඨාංග ආයුර්වේදයේ සියලු කරැණු සලකා බැලුවාම මොනවා හරි කේෂ්ත්‍රයක් ගැන ආයුර්වේද ක්‍රමයේදී සාකච්ඡා නොවී තියෙනවාද කියල ? මම හිතන විදියට අද අපේ රටේ බොහෝ දෙනා පීඩා විඳින රෝග සියල්ලටම ප්‍රතිකාර හෝ පිලීවෙත් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා.හැබැයි ඔරලෝසුවේ තත්පර කටුවට වඩා හයියෙන් දුවන්න යන මේ තරඟකාරී සමාජයේ නීවි සැනසිල්ලෙ ආයුර්වේද ප්‍රතිකාර කරල ලෙඩේ සම්පූර්ණයෙන් සුව කර ගන්නවා වෙනුවට අපේ බොහෝ දෙනෙක් කරන්නේ පෙත්තක් ගිලල, කරලක් බීල රෝග ලක්ෂන විතරක් නැති කරල දාගන්න එක.ආයුර්වේදයේ අපි බෙහෙත් කරන්නේ රෝගයේ නිධානයට මිසක් රෝගයේ ලක්ෂණ යටපත් කරල දාන්න නෙවෙයි.ඒ විදියට කරද්දි ටිකක් කල් ගතවෙනවා තමයි. හැබැයි ආපහු රෝගය උත්සන්න වීමේ අවධානමක් හෝ අතුරැ ආබාධ මතුවීමේ ඉඩක් ඒ තුළ නැහැ.

3 comments:

  1. ආයුර්වේදයේ ඇති රෝග නිධානයට පිලියම් කිරීම තමා මා එහි දකින වැදගත්ම ලක්ෂණය.

    නොදත් දේ ගොඩක් ඉගෙනගත්තා. බොහොම ස්තුතියි බොහෝ දෙනා නොදත් මේ කරුණු ප්‍රචලිත කරනවාට.

    බටහිර වෛද්‍ය විද්‍යාවේ නවීන උපකරණ භාවිතයෙන් රෝග නිර්ණය පසුගිය සියවසක පමණ කාලය තුල ඉතා දියුණු තත්ත්වයකට පැමිණි නමුත් වෛද්‍යවරුන් (ඹවුන්ගේ හැකියාවන්ගේ) වැඩි දියුණුවක් ලබා නැති බවයි මගේ මතය. වෙනත් විදියට කියනවානම් දියුණුවී ඇත්තේ වෛද්‍ය තාක්ෂණය මිස වෛද්‍ය විද්‍යාව නොවේ. ආයුර්වේදයත් එම තාක්ෂණ දියුණුව භාවිතා කරනවා නම් රෝගීන් සුව කිරීම වඩාත් පහසුවේවි!

    ReplyDelete
  2. ඉතාම හොඳ ලිපියක්. ඇත්තටම මමත් ආයුර්වේදය ගැන ඉතාම තදින් විශ්වාස කරනවා. ඒත් යම් ගැටළුවක් ඉතිරි වී තිබෙනවා. ඔය කියන නිවැරදි ආයුර්වේද ප්‍රතිකර්ම ලබා ගන්නේ කොහෙන්ද කියන එක. අනත් එක තමයි ඔබ සඳහන් කළ පරිදි අපි ඉන්නේ දුවන ලො‍්කෙකනෙ.
    කොහොම උනත් මේ ලිපියෙන් ඉතාම වැදගත් දේවල් ඉගෙන ගත්තා. තව ලියන්න. ඒ වගේම යම් රෝගයක් ගැන සහ එහි ප්‍රතිකාර ක්‍රම ලියනවානම් ඒ ප්‍රතිකාර ගත හැකි ස්ථානත් ලියනවා නම් හොඳයි.
    ස්තුතියි

    ReplyDelete
  3. ඉතාම හොද ලිපියක්. ඒත් ආයුර්වේදයේ වෙදකමට ගොඩාක් කල් යනවා. දැන් තිබෙන මේ ජීවන රටාවත් සමග අපට ආයුර්වේදයීය බෙහෙත් වට්ටෝරු සකස් කර ගැනීම තමා තිබෙන ගැටළුව. ඔබ තවත් ලිපි ලියන්න.

    ReplyDelete

Powered by Blogger.

Advertisement

Advertisement

Advertisement

ජනප්‍රියම ලිපි

ඇවිත් ගිය ගණන

වටින් පිටින් පැමිණෙන හැටි

free counters

සහපිරිවර