මැරෙන්න කෑම වෙනුවට ජීවත් වීමට කෑම



කතාවක් තියෙනවා "මාළුවා නහින්නෙ කට නිසා" කියලා.ආයෙමත් තැනක "හොදට නරකට දෙකට කටමය" කියලත් කියැවෙනවා. සාහිත්‍යයේදී වෙනත් අරමුණක් උදෙසා මේ යෙදුම් භාවිතා වුණත් ආයුර්වේදයේදිත් මේ යෙදුම් සාධාරණයි අපේ ආහාර භාවිතාවය ගැන සැලකීමෙදි. මේක දේශපාලන කතාවක් නොවුණත් පාන් රාත්තලට, කිරි පිටි පැකට් එකට ඡන්දය දෙන රටක මැතිවරණ කාලෙදි බඩ කට පිනවන කතා බහත් බහුලයි. කොහොම වුණත් තමන්ගෙ කට රැක නොගත්තොත් විදින්න තියෙන ජීවිතේ විදවන්න වෙන එක නම් අනිවාර්යයි.

සාමාන්‍යයෙන් මිනිසෙකුගේ පරමායුෂ අවුරැදු 120ක්. ඒත් අද වන විට ලංකාවේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරැදු 80ට වඩා අඩුයි.මේ විදියට ගියොත් තව අවුරැදු 10ක් 15ක් යනකොට අවුරැදු 55ක් පැනල ජීවත් වෙන කෙනෙක් හොයගන්න අමාරැ වෙන්න පුලුවන්. දැනටත් පාරෙ තොටේ ඇලවෙන මරණ දැන්වීම් වල වයස ගණන් හදල බැලුවොත් බොහොමයක් 50-60 අතර පුද්ගලයන්ගේ මරණ.

ආහාර ජීවිතයට කොතරම් වැදගත්ද කියල අද නවීන ලෝකෙ ජීවත් වෙන උදවියට වඩා ‍හොදට අපේ පැරැන්නනෝ තේරැම් අරන් තිබුණ. පෝෂණ වේදී, සූප ශාස්ත්‍රඥ වගේ පට්ටම් සන්නාම නොතිබුණාට අපූරැ ආහාර සංවිධාන රටාවක් නිර්මාණය කර ගැනීමේ හැකියාව අපේ ආච්චිලට (අපේ අම්මලාටත් නොතිබුණාම නොවේ) තිබුණ. එදා ඉදන් අපි පිළිපැදපු ආයූර්වේද වෛද්‍ය ක්‍රමයේත් ආහාර පිළිවෙත් ගැන බොහොම අපූරැවට කරැණු දක්වලා තියෙනවා.

ආයූර්වේදය කියන්නනේ ආයුෂ රැකගැනීමේ විද්‍යාවට. එහි ප්‍රධාන පරමාර්ථ දෙකක් තියෙනවා.
1. නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව රැකගිනීම
2. රෝගී පුද්ගලයාගේ රෝගී බව සුවපත් කිරීම

මේ දෙකෙන් ආයූර්වේදයේදී වැදගත් කොට සැලකුවෙ පළමු කාරණය හෙවත් ලෙඩක් හදා නොගෙන ජීවත් වීම . ඒ සදහා අනුගමනය කළ යුතු ප්‍රධාන කරැණු කාරණා හතරක් දැක්වෙනවා.

1. හිතකර ආහාරය
2. යහපත් පරිසරය
3. සහනදායී නින්ද
4. ප්‍රමාණවත් ව්‍යායාමය

මෙයින් වඩා වැදගත් වෙන කාරණය තමයි ආහාරය පිළිබද කාරණාව. මොකක්ද මේ හිතකර ආහාරය කියල කියන්නේ. පහසුවෙන් ශරීරයට උරාගන්නා, විෂ ද්‍රව්‍ය වලින් තොර, නැවුම්, පිරිසුදු , ප්‍රියජනක, පෝෂණීය ආහාරය හිතකර ආහාරයක් ලෙස අර්ථ දැක්වෙනවා. ආයූර්වේදයේ ඕකට කියන්නේ "පත්‍ය ආහාරය" කියලා. අපත්‍ය ආහාරයෙන් මිදිල පත්‍ය ආහාරයම භාවිතයට ගන්න කියන එක තමයි අපේ නිර්දේශය. අපේ පැරණි ගැමියො මේ ආහාර අපූර්වත්වය හොදින්ම අත්වින්දා. උදේම කොළකැද වීදුරැවකින් පටන් අරන්, හවසට කොත්තමල්ලි කෝප්පයකින් කෙලවර වෙන එදා කෑම වට්ටෝරැවේ වෛවාර්ණ කෑම ජාති (Shorteats), බැදුම්(Devel), ඇසුරැම් කළ කෑම ජාති (processed)තිබුණෙම නෑ. අද වගේ කෘතිමව විටමින් ගිල්ලවල කූඩුවේ ජීවත් වෙන කාලයට වැඩි කාලයක් ශීතකරණයක කල් ගෙවන මස් වර්ග, කිර්වර්ග වෙනුවට එදා අපේ පැරැන්නෝ භාවිතයට ගත්තේ එදිනෙදා නෙලා ගත්ත පලවැල. දඩයම් කරපු මස් වර්ග. සැරින් සැරේ කුස ගින්නට ඔහෙ මොනාහරි ගිලින අද කාලෙ අය වගේ නෙවී එදා අපේ ගම්වල උදවිය තුන්වේල බඩට දැනෙන්න හොදට කෑව. එනිසාම එදා අද බහුල ලෙස දක්නට ලැබෙන


1. චර්ම රෝග
2. පිළිකා
3. මධුමේහය (දියවැඩියාව)
4. මේද වෘද්ධි (කොලෙස්ටරෝල්)
5. අධි රැධිර පීඩනය
6. හෘදයාබාධ
7. අම්ලපිත්තය (ගැස්ට්‍රයිටීස්) වගේ රෝග බහුලවම වාර්තා වුණේ නෑ. පිටරටින් කොළින්ම එන හෝ එහේ තාක්ෂණයට මෙහේ නිපදවන හෝ ආහාර පාන වලට විදේශ විනිමය වැය කරනව මදිවට ඒව කාලා හැදෙන ලෙඩ රෝග වලට බෙහෙත් හේත් වලටත් විදේශ විනිමය වැය කිරීම ට සිදුවීමම තමා සැබෑම විදෙස් කුමන්ත්‍රණය. ඒත් සැබෑ කුමන්ත්‍රණය හා කුමන්ත්‍රන කරැවන් හදුනා නොගෙන බොරැ කුමන්ත්‍රණ ගැන නන්දෙඩවීමේ ප්‍රතිඵලයක් ලෙස අකාලයේ මියැදෙන්නේ අපේ රටේම මිනිස්සුම තමා. මහ කලුගල් පර්වත එක්ක හැප්පිල දිනපු, වැව් අමුණු බැදල සමකාලීන ඉංජිනේරැ තාක්ෂණයේ පතාක යෝධයින් වුණු මුතන් මිත්තන්ගේ වර්තමාන පරපුරේ කෙනෙකුට සිමෙන්ති කොට්ටයක් කෙසේ වෙතතත් කිලෝ පහේ හාල් බෑග් එකක් අරන් මීටර් සියයක් දුර පයින් යන්නවත් බෑ. කොළඹ හතේ බොරැ සිංහලයන්ට කෙසේ වෙතත් ඇඹිලිපිටියෙ අමරදාස අයියටත් උදේට හවසට බොන්න කියල ඉස්පිරිතාලෙන් දෙන පෙත්ත නොබිව්වොත් එක්කො හතිය- නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර්. ඇයි අපිට එහෙම වුණේ කියල හිතන්න තියෙන ඉස්පාසුවෙත් රෑපවාහිනිය ඉස්සරහ ඉදගෙන ඉදල නින්දට යන නිර්වින්දිත සමාජයක් යහ මගට ගන්න එක හරි අමාරැ වැඩක්.

හිතන්න. වල් බිහිවුණු මොලේ රැල් බුරැල් ඇරල අලුත් විදියට හිතන්න. අපේ ජාන විකෘති කරල අපිව ලෙඩ්ඩු කරන , කෑම වේලටත් වෙළෙන්දාගේ ප්‍රචාරණයට රැවටෙන ජාතියක් විදියට අවමන් ලබන්නේ නැතිව අභිමානවත්ව හිතල කැලේ කොලේ වැවෙන අපේ එළවලු පළතුරැ කොළ ජාති, අල ජාති වලට ආපහු යොමුවෙමු.ගෙවත්තේ වවා ගන්න බැරි නම් සතියකට සැරයක් ගමේ පොළට ගොඩවෙලා මල්ලක් පිරෙන්න එළවලු පළතුරැ කොළ ජාති, අල ජාති ගෙදර ගෙනියන පාරිභෝගික රටාවකට හුරැවෙමු.

6 comments:

  1. රන්දිකFeb 25, 2010, 1:28:00 PM

    ඔයාගේ අඩවිය නම් බොහෝම වැදගත්.තව ඔසු වර්ග ගැන එහෙම හුගක් අයට දැනුමක් නැහැ.ඒ ගැන දැනුවත් කරලා ලිපි ටිකක් දාන්න පුලුවන් නම් හොදයි....

    ReplyDelete
  2. ප්‍රතිචාර‍යට ස්තූතියි! එහෙම ලිපි පෙළක් ඉදිරියේදී ලියැවේවි.

    ReplyDelete
  3. ඔබේ ලිපිය සමග 100% එකඟයි. ඔය ටික තේරුම් ගන්න අපිට තාම බැරිවෙලා තියෙනවා. අපි පිටරටින් එන ඕන කුණුගොඩක් හරිම ආදරයෙන් බදාගන්න ජාතියක්නෙ. දිගටම ලියන්න. ඔබ දන්නා.. අපි නොදන්නා දේවල්‍‍‍... ඔබෙන් අපට බොහෝ දේ දැන ගන්න පුළුවන් වේවි‍.
    (අකුරුවල ප්‍රමාණය ටිකක් ලොකු කරොත් හොඳයි කියල හිතෙනවා)

    ReplyDelete
  4. please let me know how to contact you? I live in USA , do have some questions for you. My email address desilva842003@yahoo.com

    ReplyDelete
  5. ආයුබෝවන් වෙදහාම්නේ

    ඔබ තුමී හරි මේ අඩවියට එන කවුරු හරි මට ඔසු පැල ගැන සිංහලෙන් විස්තරාත්මකව ලියවුනු පොත් ගැන විස්තර එවනවා නම් ගොඩක් පිං

    ලියන්න මට
    සරත් පෙරේරා
    placidus67@gmail.com

    ReplyDelete
  6. ගොඩක් වැදගත් blogspot එකක්. ස්තුතියි මෙවැනි සේවාවක් පටන් ගත්තට.

    ReplyDelete